වදහිංසාවට එරෙහිව දුන් නියෝග ගණන් නොගත්තාට පොලිස්පතිට හා කොමිසමට උසාවියෙන් දොස්!

Orders from the Court to the Inspector General and the Police Commission

පොලිස් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන් සිර භාරයේ සිටින විට කෲර වධ හිංසාවලට භාජනය වීම වැළැක්වීම උදෙසා පසුගිය කාලයේ අධිකරණය විසින් විවිධාකාරයේ නියෝග නිකුත් කළ ද එම නියෝග තුළින් කිසිදු ප්‍රතිපලයක් අත්වී නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා මහතා පසුගිය 26 වන දා ප්‍රකාශ කළ අතර එලෙස ප්‍රකාශ කළේ කෲර වධ හිංසන සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමට කැඳවු අවස්ථාවේදී ය.

පසුගිය කාලසීමාව තුළ පුද්ගලයන් පොලිස් අත්අඩංගුවට ගැනීමේදී පුද්ගලයන් වධ හිංසාවලට භාජනය වීම වැළැක්වීම සඳහා විවිධ නියෝග, අවවාද, මාර්ගෝපදේශ අධිකරණය විසින් කොතෙකුත් ලබා දී ඇති මුත් මෙම කෲර වධ හිංසාවන්හි අඩුවක් නොමැති බවත්, එම නියෝග කිසිවක් මෙතෙක් ජාතික පොලිස් කොමිසම හෝ පොලිස්පතිවරයා සැලකිල්ලට නොගෙන ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වාර්තාවක් ඔවුන් විසින් නිකුත් කර නැති බවත් ඔහු මෙම අවස්ථාවේ දි ප්‍රකාශ කළේය.

විනිසුරුවරයා මෙම ප්‍රකාශය ඔහු සිදුකළේ 2009 වසරේ කැලණිය විශ්වවිද්‍යාල සිසුන් විසින් සංවිධානය කළ විරෝධතාවයකදී අවමන් සහගත ආකාරයෙන් පහරදුන් සිදුවීමක් සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ ඉනෝකා නදීශානි සහ අනුජ සමන්ත යන ශිෂ්‍යයන් දෙපළ විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවු අවස්ථාවේදීය. ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් වන එස්. තුරෙයි රාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් සිල්වා යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම පෙත්සම සලකා බැලු අතර ඒ අනුව නඩුකරයේ වගඋත්තරකරුවන් විසින් පෙත්සම්කරුවන්ගෙන් සමාව අයැද යම් වන්දියක් ගෙවා නඩුකරය සමථයට පත්කර ගැනීම යෝග්‍ය බව ප්‍රකාශ කර ඇත.

-චේතනා ගෝමිස්-

Social Sharing
අවකාශය නවතම