“76 වසරක ශාපය කියලා දැන් තරුණයන්ගේ ලේ ප්‍රකෝප කරනවා” ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු

election 2024 nimalka fernando

මැතිවරණයක් අභිමුව සිවිල් සමාජ භූමිකා ගැන සිතීමම අභියෝගයක්. අපේ ඡන්දය රහස් ඡන්දයක්. නමුත් බොහෝ දෙනෙක්ට හැගීමක් තියෙනවා අපි දාන ඡන්දය කවුරු හරි බලාගෙන ඉන්නවා කියලා. බොහෝ කාන්තාවන් ඡන්දය ගැන තීරණයන් ගන්නේ පවුලේ අය කියන විදියට. නමුත් අපි ස්වාධීනව ඡන්දය ගැන තීරණයන් ගත යුතුයි හැම අවස්ථාවකදීම.

76 වසරේ ශාපයේ නියම ස්වරූපය

පුරවැසි යුතුකම, පුරවැසි බුද්ධිය, පක්ෂ දේශපාලනයේ පණිවිඩය අප තේරුම් ගත යුතුයි. ඒ අනුව  ජනාධිපතිවරණයේ දී රට ගමන් තර තිබෙන “76 වසරක මහා ශාපය” ප්‍රධාන තේමාවක් වෙලා තියෙනවා. නමුත් ඔවුන් තේරුම් නොගන්නා කරුණු තමයි 76 ශාපයට 71 කැරැල්ල, 87-89 ප්‍රචණ්ඩත්වයන්, එල්.ටී.ටී.ඊ සංවිධානයක ප්‍රචණ්ඩත්වයත් ඇතුළත්. මේ ශාපය සහ රටේ කිසිඳු සංවර්ධනයක් සිදුවුණේ නැහැ කියලා වේදිකාවවල ජනමාධ්‍යයන්හී මහ හඩින් පපුවට ගහගෙන කියද්දී ඒ ගැන නිසි අවබෝධයක් නැති තරුණ ජනතාවගේ ලේ කෝප වෙනවා. ඒක තමයි කපටි දේශපාලඥයන් කළේ 76 ශාපය තුළ. එවැනි අවස්ථාවන්හිදී පවතින ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට එරෙහිව තරුණ ප්‍රජාවට නැගී සිටීමට හිතෙනවා තමයි. මම තරුණියක් විදියට පන්ති විප්ලවය පිළිගත් කෙනෙක්. ආචාර්ය වික්‍රමබාහු යටතේ පන්ති විප්ලවය ඉගෙන ගත්තා. මාක්ස්,ලෙනින් ගැන පතපොත හැදෑරුවා. නමුත් 71 සහ 89 කාලයේ දී ලැබුණු අත්දැකීම්, දකුණු ආසියාවේ අත්දැකීම්, පිලිපීනයේ අත්දැකීම් දුටු විට අරගල නොකළ යුතුයි හෝ අපේ අයිතීන් දිනාගැනීමට අරගල නොකළ යුතු යයි කියන මතයේ මම නැහැ. ලංකාවේ කම්කරු නීතිය ගොඩනැගී ඇත්තේ දීර්ඝ කාලයක් කම්කරුවන් විසින් සිදු කරන ලද අරගලය නිසයි. නමුත් පසුගිය කාලේ අපගේ සමාජය තුළ ලේ ගංගා ගලා තිබෙනවා.ගෙවල් පිච්චිවා, මිනිස්සු මැරුවා තියෙනවා.මේවා රජය විසිනුත්, රාජ්‍ය නොවන නාඳුනන තුවක්කුකරුවන් විසිනුත් සිදු කර තිබෙනවා. බලාපොරොත්තු සුන් වූ සමාජයක් තුළින් තමයි මේ කැරළි ඇති වී තිබෙන්නේ. අවුරුදු 60 ගාණක් වාමාංශික දේශපාලනයේ කෙනෙක් හැටියට 76 වසරක ශාපයක් ගැන දේශපාලන වේදිකාවට පැමිණීම ගැන විශාල බයක් ඇතිවෙනවා.

විශ්ව විද්‍යාල පද්ධතිය විනාශ කිරීම

අපේ විශ්ව විද්‍යාල පද්ධතිය ගරා වැටෙමින් තිබෙනවා. එක් සිසුවෙක් වසර පහකට වඩා විශ්ව විද්‍යාල රැදෙනවා. ඔවුන්ගේ ජීවිත පස්සට ගිහිං තියෙනවා. විශ්ව විද්‍යාල වල කාලය කාදැමීම නිසා තමයි පෞද්ගලික විශ්ව විද්‍යාල වලට අවස්ථාවක් හිමිවුණේ. මේ වගේ කරුණු අපි අමතක කරනවා. නැත්නම් හංගනවා. මගේ පුතා කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළුවීමට අවුරුදු තුනක් බලා හිටියා. අවසානයේ දී මට සිදුවුනු ඔහුව අධ්‍යාපනය සඳහා විදේශීය විශ්ව විද්‍යාලයකට යවන්න. ඒක ආසාවෙන් කරපු දෙයක් නෙමෙයි. විශ්ව විද්‍යාල වල මේ තත්ත්වය ඇතිවීම හේතුවක් වුයේ රජයන්ගෙන් කිසිම දෙයක් වෙන්නේ නැහැයි යනුවෙන් ඇතිවුනු පසුගාමී මතවාදයන් විශ්ව විද්‍යාල පද්ධතිය තුළට දීර්ඝ කාලයක් තිස්සේ ඇතුල් කිරීම හා ශිෂ්‍ය ව්‍යාපාරයන් දේශපාලනීකරණයවීම නිසයි. නොඑසේ නම් විශ්ව විද්‍යාල පද්ධතිය විනාශ කිරීම නිසයි. 76 වසරක් තුළ කිසිවක් සිදුවූයේ නැහැ කියන සටන් පාඨය ගැන ඇත්තටම භයයි.

ඒ ගැන සිහිනයක් තමන්ට තිබෙන සිහිනය සමාජ ගත කරන්න උත්සාහ කරනවා නං අපිට කියන්නේ තියෙන්නේ ඒ අපේ සිහිනය නෙමෙයි. අපිට තියෙන්නේ වෙනස් සිහිනයක්. ඒකට තමයි “අපිට සිහිනයක් ඇත” මේ කණ්ඩායම් ගත වෙලා වැඩ කරන්නේ ඒ සිහිනයට.

පසුගිය කාලය තුළම අපේක්ෂා බංගත්වයක් නිර්මාණයවීම නිසා බංගලාදේශය තුළ සිදුවුනු දේවල් අපි දන්නවා. අපේ රට තුළ අපේක්ෂා භංගත්වය හේතුවෙන් සිදුවුනු දේවල් අපි දන්නවා. ඒ ඇති වුනු තත්ත්වයන් නිසා රට අරාජකත්වයකට නොයා ගැළවුණේ ජනතාවගේ වාසනාවකට. මධ්‍යම පාංතිකයන්, පහළ මධ්‍යම පාංතිකයන් හැටියට බදු ප්‍රශ්නයකට මුහුණදී තිබෙනවා. ඒ නිසාම මධ්‍යම පංතිය තුළ කෝපයක් ඇති වී තිබෙනවා. මේ තත්ත්වයට විසඳුම හැටියට මොකක්ද අපි තෝරගන්නේ. රටේ ආර්ථිකය තුළ අපේ ප්‍රතිලාභයන් වැඩි කරගෙන ඒ බදු අඩු කරගැනීමට ක්‍රියාදාමයක් ගැනීමට සහය ලබා දිය යුතුයි. මේ බදු වෙනස් කිරීමට ගන්නා වූ ක්‍රියාමාර්ගයන් ගැන ජනාධිපතිවරණ වේදිකාවන්හී ඇසෙන කතාවල් ඇහුවම පුදුම හිතෙනවා. ඒවා යථාර්ථවාදී නැහැ. සිවිල් සමාජයක් හැටියට අපි මෙම ප්‍රකාශනයන්ට විසින් ගොඩනගන රැළි වලට හසුනොවිය යුතුයි.

අපි දියුණු දේශපාලන ශාක්ෂරතාවයක් තිබුණු රටක්. ඩී.ඇස්.සේනානායක, ඩඩ්ලි සේනානායක, ආචාර්ය එන්.ඇම් පෙරේරා, එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක ඔවුන් බුද්ධිය අනුව කරන දේශපාලනය සහ අද දේශපාලන වේදිකාවල සිදුවන තර්ක විතර්ක දෙස බලන විට මම කණගාටු වෙනවා. තරුණ තරුණයන්ට දෙන දේශපාලන අදහස් පදනම් විරහිත සටන් පාඨ පමණයි. එක් අපේක්ෂයෙක් කියනවා අපි කොහෙන් හරි සල්ලි හොයලා රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරනවා කියලා. 2022 අපේ රට බංකොලොත් වුනේ ඔය කොහොම හරි සල්ලි හොයලා තමයි. අනියමින් කියන දේ තමයි සල්ලි අච්චුගහන්නත් වෙන්න පුළුවන් කියලා. නැත්නම් ණය ගන්න ඕනා. ලංකාව දෙවිදියකට ණය ගත්තා. චීනෙන් ණය ගත්තා ණය එම ණය විගණනය කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ජාතික අරමුදලෙන් ණය ගත්තම විගණනය වෙන්න ඕනා. ඔවුන් ජනතාවට කියන්න ඕන කොහෙන්ද සල්ලි ගන්නේ කියලා.

2024 අගෝස්තු 24 වෙනි දින හම්බන්තොට මිරිජ්ජවිල විහාරමහාදේවී සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති “අපට සිහිනයක් ඇත.” ( We Have A Dream) සිවිල් සංවිධාන සාමූහිකය විසින් සංවිධානය කරන ලද ජනාධිපතිවරණය සහ ආර්ථික අර්බුදය හමුවේ සිවිල් සංවිධාන වගකීම නම් සම්මන්ත්‍රණය අමතමින් ආචාර්ය නීතිඥ නිමල්කා ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කරන ලද අදහස් එසේය. මෙම සම්මන්ත්‍රණයේ දී මහාචාර්ය එඩ්.ඩී.සිරිල්, පිලිප් දිසානායක, නීතිඥ දුලාන් දසනායක යන අය සභාව ඇමතූ අතර, දේශනයන් අවසානයේ දී පොදු සාකච්ඡාවක් ද පැවැත්විය.

Social Sharing
අවකාශය නවතම විශේෂාංග