ශ්‍රී ලංකාවේ පෞද්ගලික පාසල් සඳහා නියාමනයක් සහ අධීක්ෂනයක් අවශ්‍යයි!

Regulation of Private Schools in Sri Lanka

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද 2022 වසරට අදාළ වාර්තාවෙහි ශ්‍රි ලංකාවේ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඇති තීරණාත්මක ගැටලුවක් ඉස්මතු කරයි, එනම් එහිදි පෞද්ගලික පාසල් සඳහා ඵලදායි නියාමනයක් සහ අධීක්ෂණයක් නොමැතිකමයි. 2022 වසර වනවිට රට තුළ රජයේ අනුමත පෞද්ගලික පාසල් 80ක් සහ ජාත්‍යන්තර පාසල් 395ක් ක්‍රියාත්මක වන අතර මුළු පාසල් ශිෂ්‍ය ජනගහනය 300,000කට අධික වේ.

1961 අංක 08 දරන උපකෘත පාසල් සහ අභ්‍යාස විද්‍යාල පනත යටතේ රජයේ අනුමත පෞද්ගලික පාසල් ක්‍රියාත්මක වේ. මෙම පාසල් රජයේ ආධාර ලැබුවත් නොලැබුවත් මෙම පෞද්ගලික පාසල් කළමනාකරණය කරනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පෞද්ගලික අංශය මගින් වන අතර රජය මඟින් මෙම ඇතැම් පාසල් සඳහා ආධාර වශයෙන් ගුරු වැටුප්, පෙළපොත්, නිල ඇඳුම් සහ අවශ්‍ය අනෙකුත් සම්පත් සපයනු ලබයි.

1961 අංක 08 දරන උපකෘත පාසල් සහ පුහුණු විද්‍යාල පනතේ 25 වැනි වගන්තිය මගින් අවුරුදු 5 සිට 14 දක්වා වූ අනිවාර්ය අධ්‍යාපන වයස් සීමාව තුළ ළමුන් සඳහා පාසල් පිහිටුවීම පෞද්ගලික අංශයට තහනම් කර ඇත.

2020 වසරේ දෙසැම්බර් 31 වන විට රට තුළ රජයේ අනුමත පෞද්ගලික පාසල් 80ක් ක්‍රියාත්මක වන අතර මෙයින් පාසල් 47කට ගුරු වැටුප් සඳහා රජයේ ආධාර ලබා දෙයි. 2018 වසරේ මැයි 23 වැනි දින පැවැති කැබිනට් රැස්වීමේදී පෞද්ගලික පාසල් නියාමනය, අධීක්ෂණය සහ පරිපාලනය සඳහා මාර්ගෝපදේශ මාලාවක් කෙටුම්පත් කිරීමට  රජය විසින් අනුමත කරන ලදී.  2022 වසරේ විගණන වාර්තාව නිකුත්වන විටත් එවැනි මාර්ගෝපදේශ සකස් කර නොතිබුණි. මෙම පාසල්වල කළමනාකාරිත්වය සහ පරිපාලනය මණ්ඩලයක් මගින් අධීක්ෂණය කරනු ලබන අතර, මෙම ආයතන බොහොමයක් ආගමික අනුබද්ධිත ආයතන වේ.

රජයේ බොහෝ අනුමත පෞද්ගලික පාසල් වාර්ෂිකව සිසුන් බඳවා ගැනීමේ කාලසීමාවන් තුළදි ඉහළ අයැදුම්පත්‍ර ගාස්තුවක් අය කරන අතර අයදුම්පත් විශාල ප්‍රමාණයක් ද අලෙවි කරති. පසුව, එක් එක් පාසල විසින් තීරණය කරනු ලබන නිර්ණායක මත පදනම්ව සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් පාසල් වෙත ඇතුළත් කරගනු ලබයි. එමෙන්ම ප්‍රවේශ ගාස්තු, පාසල් පරිත්‍යාග සහ වෙනත් අදාළ වියදම් සඳහා ද පාසල් විසින් විවිධ මුදල් අය කරන අතර මෙම අයකිරීම් සඳහා ප්‍රමිතිගත රෙගුලාසි හෝ අධීක්‍ෂණයක් නැත. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම පාසල්වල පවතින භෞතික හා මානව සම්පත් මත පදනම්ව ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කර නොමැති අතර අය කළ හැකි ගාස්තු සඳහා උපරිම හෝ අවම සීමාවන් ස්ථාපිත කර නොමැත.

අංක 2005/31 චක්‍රලේඛයට අනුව සියලුම රජයේ අනුමත පෞද්ගලික පාසල්, අධ්‍යාපන අමාත්‍යාංශයේ පෞද්ගලික පාසල් අධ්‍යක්ෂවරයාට වාර්ෂික ආදායම් හා  වියදම් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු නමුත් කිසිදු පාසලක් එවැනි වාර්තා ඉදිරිපත් නොකරයි. එමෙන්ම මෙම පාසල්වල භෞතික හා මානව සම්පත් මත පදනම්ව තක්සේරු කිරීමේ ශ්‍රේණිගත කිරීම් ක්‍රමයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තවමත් ක්‍රියාත්මක නොකරන අතර මෙම නියාමනය නොමැතිකම මෙම ආයතනවල මූල්‍ය විනිවිදභාවය පිළිබඳ ගැටලුවක් පවා මතු කරයි. 2005/31 දරන චක්‍රලේඛය මගින් සියලුම රජයේ අනුමත පෞද්ගලික පාසල් වාර්ෂික ආදායම් වියදම් වාර්තාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ පෞද්ගලික පාසල් අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කළ යුතු බව නියම කර ඇති නමුත් එය අවශ්‍යතාවයට අනුකූලව ක්‍රියාත්මක නොවේ.

2007 අංක 07 දරන සමාගම් පනත යටතේ හෝ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ‘ජාත්‍යන්තර’ පාසල්වලට අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ විධිමත් සම්බන්ධයක් නොමැති වීම ප්‍රශ්නය තවත් සංකීර්ණ කරයි. මෙම නීත්‍යානුකූල හිඩැස මෙම පාසල්වලට අවම අධීක්ෂණයකින් ක්‍රියාත්මක වීමට ඉඩ සලසන අතර, එම අංශය තුළ ඇති නියාමන අභියෝග තවදුරටත් උග්‍ර කරයි.

සාරාංශයක් ලෙස ගත් කළ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ පෞද්ගලික පාසල් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන නමුත් දැඩි රෙගුලාසි සහ අධීක්ෂණ නොමැතිකම මුල්‍ය ගැටලු සහ සමස්ත කළමනාකරණයේ ගැටලුවලට හේතු වී ඇති අතර එය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සූරාකෑමට හා අසමානතාවයන් ඇති කිරීමට ද හේතු වී ඇත.

-චේතනා ගෝමිස්-

Social Sharing
අවකාශය නවතම විශේෂාංග