සිරකරුවන්ගේ ඡන්ද අයිතිය

Prisoners' right to vote

1931 වසරේ අප රටට සර්වජන ඡන්ද බලය හිමි වූවත් තවමත් අපේ රටේ සියලුම පුරවැසියන් සර්වජන ඡන්ද බලයෙහි සම්පූර්ණ බුක්තිය නොවිදින අතර ඒ අතරින් මෙහෙණින් වහන්සවරුන්, සිරකරුවන් හා 10%ක් වූ සංක්‍රමණිකයන් යන අයවරුන්ට ඡන්ද අයිතිය හිමි නොවේ. මේ අතරින් සිරකරුවන්ගේ ඡන්ද අයිතිය උල්ලංඝනය වීම පිළිබඳ කතිකාවතක් ඊයේ දින සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් ගොඬ නැගූ අතර එහිදි සිරකරුවන්ට ඡන්ද අයිතිය සම්බන්ධව පතින නෛතිකභාවය හා එහි ප්‍රායෝගික දුෂ්කරතා සම්බන්ධව සාකච්ඡා වුණි.

ඒ අනුව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 88 වන ව්‍යවස්ථාව ඡන්ද බලය හිමි සියලු තැනැත්තන්ට ජනාධිපතිවරණයකදී, පාර්ලිමේන්තුවකදී මෙන්ම ජනමතවිචාරණයකදී ඡන්දය භාවිත කිරීමට හැකි බව එහි සඳන්ව තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 ව්‍යවස්ථාවට අනුව යම් තැනැත්තෙකුට ඡන්ද බලය අහිමි විය හැකි ආකාර විග්‍රහ කර ඇති අතර යම් කාලසීමාවක් යටතේ බන්ධනාගාරගතවීම මගින් ඡන්ද බලය අහිමි වීම පිළිබඳ 89 (ඈ) අනුව්‍යවස්ථාව යටතේ විග්‍රහ කරයි. එම අනුව්‍යවස්ථාවට අනුව ආකාර පහකින් බන්ධනාගාරගත කිරීමේ දඩුවම් ලබන තැනැත්තන්ට ඡන්ද බලය අහිමි වේ. එම ආකාර නම්:

  1. වසර දෙකකට වැඩි කාලයක් බන්ධනාගාරගත කිරීමෙන් දඩුවම් කළ හැකි වරදකට මාස හයකට වැඩි කාලයක් සිරදඩුවම් නියම කර ඇති විට එම දඩුවම් විදිමින් සිටින අයෙක්

  1. ගතවූ වසර හතක කාලය තුළ ඉහත (1) හි ආකාරයේ දඩුවමක් සම්පූර්ණයෙන්ම විඳි තැනැත්තෙකු

  1. මරණ දණ්ඩනය නියම කර ඇති විට

  1. මරණ දණ්ඩනය වෙනුවට මාස හයකට වැඩි කාලයක් බන්ධනාගාරගත කිරීමේ දඩුවමක් විදිමින් සිටින විට

  1. මැතිවරණයක් පැවැත්වීමට අවුරුදු හතක කාලයක් තුළ ඉහත (4) කී සිරදඩුවම සම්පූර්ණයෙන් විඳි තැනැත්තෙකු

 

ඒ අනුව, පහත ප්‍රතිපාදනවලට අනුව,

 

  1. අවුරුදු දෙකකට අඩු කාලයක් බන්ධනාගාරගත කිරීමෙන් සිරදඬුවම් ලැබිය හැකි වරදකට දඩුවම් ලබා දැකිය වරදකට දඩුවම් ලබා ඇති රැදවියන්

  1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වැනි ව්‍යවස්ථාවේ දක්වා ඇති කොන්දේසිවලට පාත්‍ර වූවද කොන්දේසි රහිත සමාවක් ලද රැදිවියකු

  1. තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (5) ව්‍යවස්ථාව යටතේ අධිකරණයෙන් වැරදිකරුවන තෙක් සියලුම තැනැත්තන් නිර්දෝශී පුද්ගලයන් වන්නේය. ඒ අනුව, සියලුම රිමාන්ඩ් සිරකරුවන්ට ඡන්ද අයිතිය තිබේ.

එනමුත් ප්‍රායෝගික එම අයිතින් ක්‍රියාත්මක කිරීමට යාන්ත්‍රණයක් තවමත් මෙරට තුළ ස්ථාපිත කර නොමැති බවත් මේ සම්බන්ධයෙන් බන්ධනාගාර ආඥාපනත, පරිවාර නීති හා දෙපාර්තමේන්තු ස්ථාවර නියෝග කිසිවක් සඳහන් නොකරන බවත් ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව සිරකරුවන්ගේ අයිතින් සුරැකීමේ කමිටුව විසින් පෙන්වා දෙන ආකාරයට බන්ධනාගාරවල සිටින සම්පූර්ණ රැඳවියන් ප්‍රමාණය 30,039ක් බවත් බන්ධනාගාර දෙපාර්තිමේන්තුවේ 2024.07.17 දිනවන විට මෙරට බන්ධනාගාර තුළ රදවා ඇති දඩුවම් නොකළ හෙවත් රිමාන්ඩ් රැදවියන් ගණන 19,486ක් වන බවත් 10,553 දෙදෙනෙක් දඩුවම් ලබා ඇති රැදවියන් වන බවත්‍ ය. මෙම රිමාන්ඩ් රැදවියන් ප්‍රමාණය සමස්ත රැදවියන්ගේ ප්‍රමාණයෙන් 64.7%ක් වුවත් මෙම සියලුදෙනා ඡන්ද භාවිතා කිරීම සඳහා සුදුසුකම්ලත් එහෙත් ඡන්දය භාවිතා කිරීමේ පද්ධතිගත අඩුලුහුඬුතා නිසා ඡන්ද අයිතිය අහිමි වූ පුරැවැසියන් බවත් ය.

මැතිවරණ කොමිසම ප්‍රකාශ කරන අන්දමට රටක සුදුසුකම් සැපිරූ සියලු පුරවැසියන්ට, ජාතිය, ආගම, භාෂාව, වර්ගය, කුලය, අධ්‍යාපනය, දේපළ හිමිකම, උපත, උපන් ස්ථානය, ස්ත්‍රී පුරුෂ භාවය ආදී කිසිඳු වෙනස්කමකින් තොරව පාලන බලයට හවුල්වීමේ අයිතිය හා/හෝ තමන්ගේ නියෝජිතයින් පත්කර ගැනීමට ඇති අයිතිය සර්වජන ඡන්ද බලයවන බවත් එසේනම් සිරකරුවන්ගේ ඡන්ද බලය තහවුරු කිරීමට ඔවුන් සතුව වගකීමක් ඇති බව සිරකරුවන්ගේ අයිතින් සුරකීමේ කමිටුව විසින් එදින පෙන්වා දෙන ලදි.

-චේතනා ගෝමිස්-
Social Sharing
අවකාශය නවතම