කොංගෝ හමුදාවට බැඳීමට කැමති කාන්තා ස්වේච්ඡා සේවකයන්
ගෝමා හි හමුදා කඳවුරක් අසල සිටගෙන සිටින ආකාරය – Alexis Huguet, AFP
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) තරුණියන් M23 කැරලිකාර කණ්ඩායමට එරෙහිව සටන් කිරීම සඳහා Wazalendo නමින් හැඳින්වෙන ප්‍රාදේශීය ආත්මාරක්ෂක සංවිධානවලට එක්වෙමින් සිටිති. නව සහ පළපුරුදු සටන්කරුවන්ගෙන් සැදුම්ලත් මෙම සටන්කාමීන්, ඔවුන්ගේ ප්‍රජාවන් අඛණ්ඩ ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂා කර ගැනීම අරමුණු කරයි. තම මව්බිම ආරක්ෂා කර ගැනීමේ ආශාවෙන් 20 හැවිරිදි Marie Byamwungu වැනි බොහෝ කාන්තාවන් අවධානම නොතකා ආයුධ අතට ගෙන ඇති අතර එය මේ වන විට රටෙහි අවශ්‍යතාවයක් බවට පත්ව තිබේ. මෙම කාන්තාවන්ගේ ජීවිතය දුෂ්කර ය, නමුත් ඔවුන් සාමය සඳහා අරගලයට කැපවී සිටිති.
කිස්වාහිලි භාෂාවෙන් “දේශප්‍රේමීන්” යන අරුත ඇති Wazalendo යනු නැගෙනහිර DRC හි M23 කැරැල්ලට එරෙහිව පිහිටුවන ලද දේශීය ආත්මාරක්‍ෂක බලවේග වේ. M23 කණ්ඩායම, මුලින් 2012 දී කැරලි ගැසූ හිටපු කොංගෝ සොල්දාදුවන්ගෙන් සමන්විත වූ අතර, ඔවුන් 2022 දී නැවත මතු වූ අතර, ඉන් කලාපය තුළ ප්‍රචණ්ඩත්වය යළිත් උග්‍ර විය. ගැටුම් හේතුවෙන් ආසන්න වශයෙන් මිලියන 1.7 ක ජනතාවක් අවතැන් වී ඇති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දැන් ජීවත් වන්නේ තාවකාලික කඳවුරුවල භයානක තත්ත්වයන් යටතේ ය.
M23 තර්ජනයට ප්‍රතිචාර වශයෙන්, කොංගෝ ජනාධිපති Felix Tshisekedi තරුණයන්ගෙන් ඉල්ලා සිටියේ එක්කෝ ජාතික හමුදාවට බැඳෙන ලෙස හෝ හමුදාවට සහයෝගය දැක්වීම සඳහා තමන්ගේම ආරක්ෂක කණ්ඩායම් පිහිටුවා ගන්නා ලෙසයි. මෙම කැඳවීම, අලුතින් පිහිටුවන ලද කැරලිකාර ඒකක සහ දිගුකාලීනව ස්ථාපිත සටන්කාමීන් ඇතුළු විවිධ සටන්කාමීන්ගේ සභාගයක් වන Wazalendo පිහිටුවීමට හේතු විය. මෙම කණ්ඩායම් බොහෝ විට ජාතික හමුදාව සමඟ හෝ ඊට ඉදිරියෙන් සටන්වල නිරත වෙමින් M23 සංවිධානයට එරෙහි සටනේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත.
විවිධ හේතූන් මත ආයුධ අතට ගත් තරුණියන් වසලෙන්ඩෝ ආත්මාරක්ෂක සංවිධානවල තිබෙන විවිධ ශ්‍රේණි අතර සිටී. මාරි බියම්වුන්ගු වැනි ඇතැමුන්ට ගැටුම හේතුවෙන් තම නිවෙස්වලින් පලා යාමට සිදු වූ අතර සටන් කිරීම හැර වෙනත් විකල්පයක් නොතිබිණි. තවත් සමහර තරුණියෝ ආර්ථික දුෂ්කරතාවලින් මිදීමට, ආරක්ෂාව සලසා ගැනීම යනාදී අරමුණු සඳහා ආත්මාරක්ෂක සංවිධාන සමගින් එක් වූහ.
යන්තම් 20 හැවිරිදි වියේ පසුවන Byamwungu, මාස තුනකට පෙර Wazalendo සභාගය තුළ කණ්ඩායමක් වන Congo හි දේශප්‍රේමී ආරක්‍ෂාව සඳහා වූ හමුදා සංගමයට (UFPDC) සම්බන්ධ විය. ඇය තුවක්කුව භාවිතා කිරීමට හොඳින් පුහුණු වූ අතර දැන් තම කණ්ඩායමේ සිටින පිරිමි සටන්කරුවන් සමඟ එකට එක්ව සටන් කරයි. අන්තරායන් මධ්‍යයේ වුවද, තම ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා ඇයගේ කාර්යභාරය ගැන ඇය ආඩම්බර වේ.
මෙම කාන්තාවන් බොහෝ දෙනෙකුට, Wazalendo හා සම්බන්ධ වීමට ගත් තීරණය පහසු එකක් නොවීය. නිදසුනක් වශයෙන්, බයිම්වුන්ගුට ඇගේ පවුල හැර යාමට සිදු වූ අතර, කෙසේ වෙතත් සටනට සම්බන්ධ වීමෙන් ඇය නිවැරදි දේ කරන බව විශ්වාස කරමින් ඇගේ පියා ඇයගේ එම තීරණය සඳහා සහාය විය.
මෙම කාන්තාවන් මුහුණ දෙන තත්වයන් දරුණු ය. තාවකාලික කඳවුරුවල ජීවත් වන ඔවුන් බොහෝ විට පිරිමි සටන්කරුවන් සඳහා ආහාර පිසීම, කඳවුරු පිරිසිදු කිරීමේ කටයුතු සඳහා වගකිව යුතුය. අභියෝග මධ්‍යයේ වුවද, ඔවුන් තම ප්‍රජාවට යුතුකම් ඉටුකිරීම පිළිබඳ ගැඹුරු හැඟීමකින් සහ යහපත් අනාගතයක් සඳහා වූ බලාපොරොත්තුවෙන් මෙහෙයවනු ලබන ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් කැපවී සිටිති.
වසලෙන්ඩෝ ආත්මාරක්ෂක සංවිධානවලින්, M23 කැරලිකරුවන්ට එරෙහිව එල්ලවන ප්‍රහාර DRC හි ආරක්ෂාවේ තීරණාත්මක කොටසක් බවට පත්ව ඇත. ආත්මාරක්ෂක සංවිධාන බොහෝ විට සටන්වල පෙරමුණ ගන්නා අතර ජාතික හමුදාව ආත්මාරක්ෂක සංවිධානවලට පසුපසින් සටනට ප්‍රවිෂ්ඨවන අවස්ථාද තිබේ. කොංගෝ හමුදාව මෙම සන්නද්ධ කණ්ඩායම්වලට ඕනෑවට වඩා නිදහස ලබා දෙන බවට පවසමින් මෙම හවුල්කාරිත්වය ගැන සමහර ප්‍රවීණයන් කනස්සල්ල මතු කර ඇත.
කොංගෝවේ මිලිටරිකරණය පිළිබඳ අධ්‍යයනය කරන Utrecht විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය ජුඩිත් වර්වයිජෙන් තර්ක කරන්නේ Wazalendo ආත්මාරක්ෂක සටන්කරුවන්ට ඔවුන් කැමති පරිදි ක්‍රියාත්මක වීමට “හිස් චෙක්පතක්” ලබා දී ඇති බවයි. මෙය විශේෂයෙන්ම Vivienne Ntumba වැනි කාන්තා සටන්කාමීන් අනුබද්ධව සිටින නිදහස් හා ස්වෛරී කොංගෝවක් සඳහා දේශප්‍රේමීන්ගේ සන්ධානය (APCLS) වැනි කණ්ඩායම් විසින්, විශේෂයෙන්ම මරණ දණ්ඩනය, පැහැරගැනීම් සහ අත්තනෝමතික ලෙස රඳවා තබාගැනීම් ඇතුළු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනාවලට තුඩු දී ඇත.
මෙම උත්සුකයන් නොතකා, Wazalendo ආත්මාරක්ෂක සටන්කරුවන්ට ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ සහයෝගය දිගටම ලැබේ. ආහාර සහ වෙනත් සැපයුම් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමෙන් ප්‍රාදේශීය ප්‍රජාවන් විසින් ආත්මාරක්ෂක සටන්කරුවන්ට ඔවුන්ගේ සහාය දැක්වීම කරනු ලබයි. සම්පත් හිඟ කලාපයක තම මෙහෙයුම් දිගටම කරගෙන යාමට ඉඩ සලසන බැවින් මෙම සහයෝගය ඔවුන්ට ඉතා වැදගත් වේ.
සටහන – Srimal DC