මෙවර ජනපති සටනට කිසිදු කාන්තා නියෝජනයක් නැහැ

2024 ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලයේ දී ඊයේ (15) සිදු කෙරුණු අතර, මැතිවරණ කොමිසම සඳහන් කළේ ඇප තැබු අපේක්ෂකයින් 40 දෙනා අතුරින් 39 දෙනෙකු ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් බවයි. නාමයෝජනා භාරගැනීම ඊයේ පෙරවරු 9.00ට ආරම්භ වූ අතර එම කටයුතු පෙරවරු 11.00ට අවසන් කෙරුණා.

අනතුරුව නාම යෝජනා සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමට පෙරවරු 11.00 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව ලබා දී තිබිණි. ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවට අයදුම්පත් 39ක් ලැබුණු අතර ඒ සියල්ල පිළිගෙන ඇති බව එහි ප්‍රධානී ආර්.එම්.ඒ.එල්. රත්නායක නිවේදනය කළේය. සැප්තැම්බර් 21 මැතිවරණයේදී මිලියන 17කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.

පසුගිය 2019 ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත් වූ අතර, 2024 ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනකු ඉදිරිපත් වුවත් ඒ අතර කාන්තාවන් කිසිවකුත් නොවීම මෙවර මැතිවරණයේ දැකිය හැකි විශේෂත්වයකි.

Social Sharing
නවතම පුවත්