දියවැඩියා රෝගියකුගේ මහපට ඇඟිල්ල කපා දැමීමට භාවිතා කල කතුරෙන් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු විසින් හෙදියකගේ හිසට පහරදෙනු ලැබීමෙන් ඇයගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වන්දි වශයෙන් සිය පෞද්ගලික මුදලින් රුපියල් 50,000ක මුදලක් ගෙවන ලෙස සිද්ධියට සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාට නියෝග කළේය. ඊට අමතරව රුපියල් 10,000 වන්දි මුදලක් හෙදියට ගෙවන ලෙස රජය නියෝග කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ සිද්ධියට ලක්වූ හෙදිය විසින් ගොනුකරනු ලැබ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. වාරියපොල ප්‍රදේශයේ මාධවී බුද්ධිකා රාජගුරු මහත්මිය විසින් ගොනුකොට තිබු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කුරුණෑගල මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අශෝක විජයමාන්න මහතා ඇතුළු හය දෙනකු නම් කර ඇත.
2019 වසරේ මාර්තු මස 12 වැනි දින දියවැඩියා රෝගියකුගේ මාපට ඇඟිල්ල ඉවත්කිරීමේ සැත්කමක් සම්බන්ධයෙන් ඇය වගඋත්තරකාර ශල්‍ය වෛද්‍යවරයා සමග ශල්‍යගාරයේ සිටි ඇති අතර එම අවස්ථාවේදි සැත්කම සඳහා කතුරක් ඉල්ලා ඇති අතර එය භාවිතයෙන් පසු නිසි තැන නොතැබීම හේතුවෙන් ඔහු එම කතුර ගෙන පෙත්සම්කාරියගේ හිසට දමා ගසා ඇත. ඉදිරිපත් වූ කරුණු අනුව ශල්‍ය වෛද්‍යවරයා ඉතා කෝපාවිශ්ටව පෙත්සම්කාරියට කතුරෙන් පහරදීම සිදු කර ඇති බවට සනාථ වූ අතර ඒ හේතුවෙන් ඇයගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට අධිකරණයේ මතය විය.
ඒ අනුව වගඋත්තරකාර ශල්‍ය වෛද්‍යවරයාට පෞද්ගලික මුදලින් රුපියල් පනස් දහසක වන්දි මුදලක් පෙත්සම්කාරියට ගෙවීමට නියෝගෙ කරන බවද තවත් රුපියල් දස දහසක මුදලක් ඇයට රජයෙන් හෙවීමට නියෝග කරන බවද තීන්දුවේ වැඩිදුරටත් සදහන් වේ.