ජනාධිපතිවරණය සඳහා පෝස්ටර් ගැසීම දැනටමත් ආරම්භ වෙලා. එමගින් පරිසර දූෂණය, නාස්තිය වැනි ගැටලු පමණක් නොවෙයි, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ද සිදු වෙනවා.
1981 අංක 15 දරන ජනාධිපතිවරණ පනතේ 74 වන වගන්තියට අනුකූලව මෙවර ජනාධිපතිවරණයේ පත්‍රිකා ප්‍රදර්ශනය, පෝස්ටර් ප්‍රදර්ශන ආදි ප්‍රදර්ශනය සම්බන්ධයෙන් ප්‍රතිපාදනවලට අනුව නාම යෝජනා භාරගත් දිනයේ සිට එනම් අගෝස්තු මස 15 වන දා සිට ඡන්ද විමසීම් සිදුවන දිනය හා පසුදිනය දක්වා මැතිවරණ ප්රචාරක කටයතු උදෙසා කිසිදු පුද්ගලයෙකු පෞද්ගලික හෝ පොදු පරිශ්රයක කිසිදු කොඩියක්, බැනරයක් ප්‍රදර්ශනය නොකළ යුතුය. එවැනි ඡන්ද සලකුණු ප්‍රදර්ශනය කිරීමක් සිදු කළ හැක්කේ අපේක්ෂකයෙකුගේ හිමිකාරිත්වය සහිත වාහනයක පමණි.
එමෙන්ම 74 වන වගන්තියට අනුව එවැනි වරදකට වරදකරු වන ඕනෑම පුද්ගලයකු මහේස්ත්‍රාත් ඉදිරියේ පත්වන ලඝු නඩු විභාගයකින් පසු රුපියල් සියයක් ඉක්මවා නොයන දඩයකට හෝ මසක් ඉක්මවා නොයන සිර දඬුවමකට හෝ එම දඬුවම් දෙකටම යටත් වේ. එමෙන්ම මෙම නීතිය තුළින් ඉහත කී ආකාරයට පළ කරන ලද පෝස්ටර්, කටවුට්, බැනර් ආදිය ඉවත් කිරීමට ද පොලීසියට බලය ලබා දී ඇත.
මැතිවරණ කොමිසමේ මාධ්‍ය සම්බන්ධීකාරක චන්න ද සිල්වා මහතා පවසන ආකාරයට කොළඹ ඉදිකරන කටවුට්, අලවන ලද පෝස්ටර් හා බැනර් ආදිය ඉවත් කිරීමට ඉදිරි දිනවල පොලීසියට බලය ලබා දෙන බවයි.
පෙර වසරවලට සාපේක්ෂව මැතිවරණ ප්රචාරණයේ දී දේශපාලන පක්ෂ පෝස්ටර්, කටවුට් ඇලවීමේ ප්රචාරක ක්‍රමවලින් බැහැරවී ඔන්ලයින් (මාර්ගගත) නැතහොත් ඩිජිටල් ක්‍රමවේදවලට අනුගත වී ඇති බව පෙනෙන්ට පවතින අතර බොහෝ අපේක්ෂකයන් සහ පක්ෂ පෙර වසරවලට වඩා ඉලෙක්ටොනික හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ සිය ප්රචාරක කටයතු සිදු කරන අතර මෙටා (Meta) නැතහොත් Facebook හා ගූගල් වෙළඳ දැන්වීම් සිය ප්‍රචාරණ කටයතු සඳහා භාවිතා කරනු ලැබේ. මුද්‍රිත ප්රචාරක ද්‍රව්‍ය භාවිතය අඩුවීම පරිසර හිතකාමි ධානාත්මක පැතිකඩක් බව ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයනය උදෙසා වූ ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක මහතා පවසයි.