එක්සත් රාජධානිය ඇවිලුනේ වැරදි තොරතුරු නිසාද?

Is misinformation the cause of violence in the UK

එංගලන්තයේ වයඹ දිග ප්‍රදේශයේදී තරුණ ගැහැණු ළමුන් තිදෙනෙකුට මරු කැඳවමින් සිදු වූ පිහි ප්‍රහාරයකින් අනතුරුව පසුගිය සතිය පුරා එක්සත් රාජධානියේ ප්‍රදේශ කිහිපයක කැරලි ඇති විය.

සවුත්පෝට් වෙරළබඩ නගරය මෙම ඛේදජනක සිදුවීමෙන් ශෝකයෙන් ඇළලී ගොස් තිබෙන අතරේ, අන්ත දක්ෂිනාංශික කණ්ඩායම් ඔවුන්ගේ අදහස් ප්‍රවර්ධනය කිරීමට සහ සුදු ජාතිකයන් නො වන ප්‍රජාවන් බිය ගැන්වීමට මෙම සිද්ධිය අවස්ථාවක් කර ගෙන තිබේ.

සාමකාමී ලෙස නගරයේ ආරම්භ වූ විරෝධතා ඉක්මනින්ම ප්‍රචණ්ඩ අතට හැරුණි. නොසන්සුන්තාවය මධ්‍යයේ කැරලිකරුවන් පොලිසිය වෙතට මෙන් ම හෝටල්වල සිටින සරණාගතයින් ඉලක්ක කරගෙන ගඩොල්, දුම් බෝම්බ වැනි දේවලින් ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළ හ. මෙය ඉතා ඉක්මනින් හල්, ලිවර්පූල්, මැන්චෙස්ටර්, බ්ලැක්පූල් සහ බෙල්ෆාස්ට් ඇතුළු එක්සත් රාජධානියේ අනෙකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත වී ගියේ ය.

ඉන්දියාව, නයිජීරියාව සහ මැලේසියාව වැනි සමහර රටවල් මේ වනවිට එක්සත් රාජධානියට යන සංචාරකයන් සඳහා සංචාරක උපදේශන නිකුත් කර තිබේ.

BBC Verify විසින් කරන ලද විශ්ලේෂණයකට අනුව, වීදි උද්ඝෝෂණවල සිටින හෝ සවුත්පෝට් ප්‍රහාරය ගැන මත පළ කරන සෑම කෙනෙකුම ආන්තික අදහස් දරන හෝ කැරලි ගැසීමට සහාය දක්වන හෝ අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් සමඟ සම්බන්ධකම් පවත්වන්න අය හෝ වන්නේ නැත. මෙම කැරලිවලට හවුල් වන්නන් අතරේ ප්‍රචණ්ඩකාරී අපරාධ ගැන සැලකිලිමත් වන පුද්ගලයින් හෝ මෙම ප්‍රහාරය නීතිවිරෝධී සංක්‍රමණවලට සම්බන්ධ බවට වූ වැරදි තොරතුරු මගින් නොමඟ යැවූ පුද්ගලයන්ද වන බව සොයාගෙන තිබේ.

වැරදි තොරතුරු

Is misinformation the cause of violence in the UK

පිහි ඇනුම පිළිබඳ පුවත වාර්තා වූ විට, ප්‍රහාරකයා කවුරුන්ද යන්න පිළිබඳ වැරදි තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ලැව් ගින්නක් මෙන් පැතිර ගියේ ය.

ඔහුගේ වයස අනුව, 17 හැවිරිදි පිරිමි ළමයෙකුට චෝදනා එල්ල වී ඇති බව පමණක් පොලිසිය විසින් තහවුරු කළ අතර, උපකල්පන මත පදනම්ව ක්‍රියා කිරීම නවත්වන ලෙසට මහජනතාවගෙන් ඉල්ලා තිබුණි.

නමුත් අන්ත දක්ෂිණාංශික සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් විසින් පතුරවා හරින ලද කටකතා අනුව, ප්‍රහාරකයා බෝට්ටුවකින් එක්සත් රාජධානියට පැමිණි මුස්ලිම් සරණාගතයෙකු වන බවට තොරතුරු ඉතා ඉක්මනින් පැතිර ගියේ ය.

එක් අයෙක් අන්ත දක්ෂිණාංශික කණ්ඩායමේ නිර්මාතෘ වන ඉංග්‍රීසි ආරක්ෂක ලීගය සමඟ සම්බන්ධකම් ඇති X සමාජ ජාලයේ විශාල අනුගාමිකයින් පිරිසක් සිටින අයෙකු විය. ස්ටීවන් යාක්ස්ලි-ලෙනන් නම් ඔහු ටොමී රොබින්සන් යන අන්වර්ථ නාමය භාවිතා කරන බව BBC Verify වාර්තා කරයි.

BBC Verify ට අනුව, අන්ත දක්ෂිණාංශික පුද්ගලයින් සහ කණ්ඩායම් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති සාමාන්‍ය මිනිසුන් ඇතුළු විශාල පිරිසක් වෙත සමාජ මාධ්‍ය ඔස්සේ මෙම වැරදි තොරතුරු ඉතා ඉක්මනින් ප්‍රචාරය වී තිබේ.

ජාතිවාදය සහ සංක්‍රමණ

Is misinformation the cause of violence in the UK

ජුලි මස ආරම්භයේ පැවති එක්සත් රාජධානියේ මහ මැතිවරණයදී, ආගමන මෙන් ම, කුඩා බෝට්ටුවලින් එක්සත් රාජධානියට සංක්‍රමණිකයන් පැමිණීම වැනි මාතෘකා කතාබහට ලක් විය.

අත්‍යවශ්‍ය නොවන සංක්‍රමණ නතර කරන ලෙස ඉල්ලා සිටින, එක්සත් රාජධානියේ බ්‍රෙක්සිට් ව්‍යාපාරයේ ප්‍රමුඛ චරිතයක් වූ නයිජල් ෆරාජ්, එක්සත් රාජධානි ප්‍රතිසංස්කරණ පක්ෂයේ නායකයා ලෙස ප්‍රධාන ධාරාවේ දේශපාලනයට ද නැවත පැමිණ තිබේ.

කෝලාහලවලට ප්‍රතිචාර දක්වමින් “පාලනයකින් තොරව සිදුවන මහා පරිමාන සංක්‍රමණවල ප්‍රතිඵලයක් ලෙස අපගේ ප්‍රජාවන් කොටස්වලට වෙන් වීම, අපේ ජනගහනයෙන් බහුතරයකට දැනෙමින් තිබෙනවා” යි ඔහු කියා සිටියේ ය.

වර්තමාන එක්සත් රාජධානියේ නීතිමය සහ නීතිවිරෝධී සංක්‍රමණ යන දෙකම ඉතා ඉහළ අගයකින් සිදු වන බව සාක්ෂි සහිතව පෙනෙන්නට තිබේ. පසුගිය පෙබරවාරියේ Ipsos සමීක්ෂණයකින් පැවසුණේ 52% ක් දෙනා වර්තමාන ආගමන මට්ටම් ඉතා ඉහළ මට්ටමක පවතින බව විශ්වාස කරණ බවයි. දෙවසරකට පෙර එසේ පැවසුවේ 42% දෙනෙකු පමණි.

නමුත් Ipsos සමීක්ෂණයට අනුව, 2022 සිට එම පරතරය අඩු වී ඇතත්, ආගමන විගමනයේ බලපෑම පිළිබඳව මිනිසුන් සාමාන්‍යයෙන් වඩා සුබවාදී වී ඇති බවත් හෙළි වී තිබේ.

සංක්‍රමණ විරෝධී පෙළපාලි සංවිධානය කළ අන්ත දක්ෂිණාංශික දේශප්‍රේමී විකල්පය ඇතුළු අනෙකුත් කණ්ඩායම්, සවුත්පෝර්ට් ප්‍රහාරය සම්බන්ධයෙන් ඇති වී තිබෙන මහජන කෝපය පසුව ප්‍රචණ්ඩත්වය කරා හැරුණු ඒකරාශී වීම් බවට පත් කිරීමට කටයුතු කළහ. තවත් අන්තවාදී දක්ෂිණාංශික කණ්ඩායම් සමූහ පිටුවහල් කිරීම් ඉල්ලා සිටිය හ.

සරණාගතයින් සිටින හෝටල් ද ජාතිවාදී සහ සංක්‍රමණ විරෝධී ප්‍රහාරවල ඉලක්ක බවට පත් වී තිබේ.

විනෝදය සඳහා කළ කොල්ලකෑම්

Is misinformation the cause of violence in the UK

කැරලි අතරතුරදී සමහර විරෝධතාකරුවන් වෙළඳසැල් කොල්ලකෑම ඇතුළු සාපරාධී ක්‍රියාකාරකම්වල යෙදී තිබේ.

ඊසාන දිග එංගලන්තයේ නගරයක් වන සන්ඩර්ලන්ඩ් හි පිහිටි ග්‍රෙග්ස් බේකරියේ ශාඛාවක් මෙන්ම නැට්වෙස්ට් බැංකුවක් ද බිඳ දමා ඇති අතර වයඹ දිග බ්ලැක්පූල් හි සාප්පු මධ්‍යස්ථානයක සිදුකළ කොල්ලකෑම් පිළිබඳවද පොලිසිය විමර්ශනය කරමින් සිටින බව වාර්තා වේ.

ඊසානදිග හල් ප්‍රදේශයේ සිදු වූ කොල්ලකෑම් සහ වෙළඳසැල් ගණනාවකට හානි කිරීම් මෙන් ම ඉන් එකක් ගිනි තබා ඇත, ඒ  හේතුවෙන් නගර මධ්‍යයේ කඩ සාප්පු වේලාසනින් වසා දැමූ අතර පොදු ප්‍රවාහනයට ද බලපෑම් එල්ල විය.

දේශීය සේවා කප්පාදුව

Is misinformation the cause of violence in the UK

එමෙන්ම ඇතැම් පිරිස් පෙන්වා දෙන අන්දමට වසර ගණනාවක් පුරා පැවති දැඩි ආර්ථික ප්‍රතිපත්ති විසින් රජයේ පොදු සේවාවන්ට ලබා දෙන ආධාර කප්පාදු කර තිබේ.

සවුත්පෝර්ට් හි ආරම්භ වූ නොසන්සුන්තාවයෙන් පසුව, පසුගිය රජයන් යටතේ සිදු කළ වියදම් කපා හැරීම් සහ මෙම ප්‍රදේශයේ වටිනාකම පහත හෙලීමේ ප්‍රතිඵලයක් ලෙසට ප්‍රජා සහජීවනය වසර ගණනාවක් තිස්සේ පහත වැටී ඇත.

2010 සිට 2019 දක්වා වූ එක්සත් රාජධානියේ ‘කප්පාදු කාලය’ තුළදී, හිටපු චාන්සලර් ජෝර්ජ් ඔස්බෝන් සහ ඔහුගේ අනුප්‍රාප්තිකයින් විසින් සුභසාධන ගෙවීම්, නිවාස සහනාධාර සහ සමාජ සේවා සඳහා වියදම් කප්පාදු කිරීම මගින් පවුම් බිලියන 30කට වඩා (ඩොලර් බිලියන 38) උපයා තිබේ.

සමාජ හා මූල්‍ය අස්ථාවරත්වය විසින් තරුණ ප්‍රජාව, අන්ත දක්ෂිණාංශික රැඩිකල්කරණයට වඩාත් නැඹුරු කළ හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවා තිබේ. මෙය Covid හි කල්පවත්නා බලපෑමෙන් ද වඩා ත්‍රීවෘ වන්නට ඇත.

සංස්කාරක මාර්ක් ඊස්ටන් විසින් කළ විශ්ලේෂණය

Is misinformation the cause of violence in the UK

දිනපතා බිහිසුණු අපරාධ කතා රැසක් දකින අප, රට වඩ වඩාත් අවනීතිය කෙරෙහි නැඹුරු වෙමින් පවතින බවට විශ්වාස කිරීම ගැන අපට සමාව දිය හැකිය. නමුත් එංගලන්තයේ සහ වේල්සයේ අපරාධ සමීක්ෂණයට ප්‍රතිචාර දක්වන මිනිසුන්ගෙන් ඔබ අපරාධ පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් ගැන විමසූ විට ලැබෙන ප්‍රතිචාර පෙන්වන්නේ එයට ප්‍රතිවිරුද්ධ දෙයකි.

සන්ඩර්ලන්ඩ් හි බොහෝ දෙනෙක් මෙම ප්‍රචණ්ඩකාරී නොසන්සුන්තාව දුටුවේ සිකුරාදා රාත්‍රිය සඳහා වූ සංදර්ශනයක් ලෙසට බව පෙනෙන්නට තිබුණි. එය ඔවුන් නොසලකා හරින රජය කෙරෙහි ඔවුන්ගේ කෝපය ප්‍රදර්ශනය කිරීමට ගත් උත්සාහයක් විය.

අනෙක් අය එය ස්වභාවිකව ඇති වූ සිද්ධියක් නොවන බවට විස්වාස කරති. නගර මධ්‍යයේ නොසන්සුන්තාව ආරම්භ වීමට ටික වේලාවකට පෙර, එක්සත් රාජධානියේ ධජ පොරවා ගත් මිනිසුන්ගෙන් පිරුණු දුම්රියක් ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ සිට දුම්රිය ස්ථානයට පැමිණියේ ය. දුම්රිය ස්ථානයෙන් පිටතදී, ඔවුන්ව පිළිගනු ලැබුවේ දක්ෂිණ උච්චාරණ සහිත පිරිසක් විසිනි.

දැනට අක්‍රිය වී ඇති ඉංග්‍රීසි ආරක්ෂක ලීගයට සම්බන්ධ කිහිප දෙනෙකුගේම මුහුණු මම දුටුවෙමි. පසුගිය වසර 45ක කාලය තුළ එක්සත් රාජධානියේ වාර්ගික අර්බුද ඇතිවනු මා දුටු පළමු අවස්ථාව මෙය නොවේ.

මෙවර සිදුවීම පෙර ඒවාට වඩා වෙනස් වන්නේ සමාජ මාධ්‍යවල එකිනෙකා හරහා පැතිර ගිය තොරතුරු නිසා, මැර පිරිස් උසි ගන්වන අයට වඩා පහසුවෙන් එය කිරීමේ ඉඩ ලැබී තිබීම පමණි. ස්වදේශීය අන්තවාදී කණ්ඩායම් සමඟ සම්බන්ද පිරිස් විසින් විදේශීය වෙබ් අඩවි සමහරක් හරහා සාවද්‍ය සහ නොමඟ යවනසුළු තොරතුරු ප්‍රචාරය කර තිබේ.

සිය ප්‍රජාව තුළ ප්‍රචණ්ඩත්වය සිදුවෙමින් ඇති බව අත්විඳින පුද්ගලයන්ට මෙය ඉතා බිහිසුණු කාලයකි. අප එහි වඩාත්ම භයංකර තත්ත්වය තවම අත්දැක ඇත්දැයි අප දන්නේ නැත.

නමුත් මම ඊසානදිග හාර්ට්ල්පූල් හි පිරිසිදු කිරීමේ මෙහෙයුම නැරඹුවෙමි. එමෙන් ම වර්තමාන බ්‍රිතාන්‍යය වෙන කවරදාටත් වඩා ආරක්ෂිත සහ අනෙකාව ඉවසන බවට ප්‍රකාශ කෙරෙන පර්යේෂණ කියවා ඇත්තෙමි.

ඒ නිසාම අන්ත දක්ෂිණාංශික දාමරිකවාදය බ්‍රිතා,න්‍යයේ මනෝභාවය නියෝජනය කරන බවට උපකල්පනය කිරීම වරදක් බව මගේ හැඟීමයි.

www.bbc.com
Social Sharing
අවකාශය නවතම විශේෂාංග