අපි දිගටම ශ්‍රී ලංකාවට සහාය දෙනවා  – ආසියානු සංවර්ධන බැංකුව

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂ තකෆුමි කදොනො  (Takafumi kadono)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීම, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයේ දියුණුව ඇති කරලීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග, ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ දායකත්වය යනාදී කරුණු කාරණා පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂ තකෆුමි කදොනො (Takafumi kadono) මහතා සමඟ කළ සාකච්ජාවයි මේ.

ශ්‍රී ලංකාව තමන් ලබාගත් දේශීය හා විදේශීය ණය සඳහා ගෙවිය යුතු වාරික සහ පොලිය ආපසු ගෙවීමට නොහැකි රටක් ලෙස 2022 දී නම් කළා. එසේ තිබුණු රට මේ වන විට යහපත් තැනකට පත්වී තිබෙනවා. ඒ සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ ඔබ දකින්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිළිවෙළ සැලකිය යුතු ප්‍රගතියක් දැනටත් අත්කරගෙන තිබෙනවා. එය තුන් ආකාරයකින් කළ වැඩපිළිවෙළක්. පළමුව රජය ගෙවීමට ඇති දේශීය ණය ප්‍රශස්තිකරණයක් කළා. දෙවනුව බහු පාර්ශ්වයේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට රජය කටයුතු කළා. ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ බලධාරින් විශාල උනන්දුවකින් කැපවීමෙන් කටයුතු කළා. මේ වන විට එහි තුන්වැනි පියවර ලෙස විදේශීය ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ක්‍රියාත්මක වී තිබෙනවා. ඒවා සියල්ල සාර්ථකව සිදු කළ විට රටේ ආර්ථිකයට වර්ධනීය තත්ත්වයක් ළඟාකර ගත හැකියි.

සාර්ව ආර්ථික දර්ශක ලෙස ඔබ දකින්නේ මොනවාද?

මේ වනවිට ශ්‍රී ලංකාවේ උද්ධමනය අඩු වී තිබෙනවා. එය වසර 2022 සැප්තැම්බර් මාසයේදී 70% ඉක්මවා පැවතියා. අද වන විට එය තනි ඉලක්කමක් බවට පත්කර ගැනීමට හැකි වී තිබෙනවා. රටේ පොලී අනුපාතික විශාල ලෙස ඉහළ ගියා. ශ්‍රී ලංකාවේ රුපියලේ අගය විශාල ලෙස පිරිහුණා. විදේශ නිල සංචිතය බිඳ වැටුණා. ආර්ථික වර්ධන වේගය අඩාළ වුණා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිටපිටම කාර්තු හයක් ඍණ වර්ධනයක් වාර්තා කළා. ඒ සමඟම රටේ සමාජයේ කැලඹිලි ඇති වුණා. එවැනි අඳුරු තත්ත්වයෙන් මේ වන විට රට මිදී තිබෙනවා.

එවැනි තත්ත්වයක් ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු මොනවාද?

ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ ජාතික අය වැය හිඟයකින් පෙළෙන රටක්. ඒ වගේම ආනයන අපනයන අතර පවතින හිඟය විශාලයි. මේ දෙයාකාර හිඟයන් නිසා ශ්‍රී ලංකාව කලක් තිස්සේ බැටකනවා. ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට මේ ගැටලු දෙක විශාල ප්‍රශ්නයක්.

මෙම ගැටලු දෙක විසඳීමට රජය අනුගමනය කළ ක්‍රියාමාර්ග මොනවාද?

ඒ සඳහා රජය බදු ප්‍රතිසංස්කරණ, ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළවෙක් හඳුන්වා දී තිබෙනවා. ඒ තුළින් මේ වනවිට යම් විසඳුමක් ලැබී තිබෙනවා. රජය හොඳ කාර්යයක් ඉටු කරන බව අපි විශ්වාස කරනවා. ඊට අමතරව විවිධ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙමින් පවතින ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කර තිබෙනවා.

රජය ඉදිරිපත් කරන ප්‍රතිසංස්කරණ විශේෂයෙන් රජය ගෙනා නව අණපනත් ඔබ දකින්නේ කෙසේද?

රජය මේවන විට අණපනත් විශාල ප්‍රමාණයක් ගෙනත් තිබෙනවා. විශේෂයෙන් ආර්ථික වර්ධනය අපේක්ෂාවෙන් ගෙනා පනත් සාධනීයයි. මහ බැංකු පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත, ආර්ථික පරිවර්තන පනත, වැනි විවිධ ප්‍රධාන නීති සම්මත කිරීම අපි අගය කරනවා. ඒ තුළින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය ආපසු ගෙවීමට හැකි මට්ටමට තිරසරභාවයක් ඇති කරගනු ඇතැයි අපි විශ්වාස කරනවා. ණය කළමනාකරණය වගේම ණය ආපසු අය කිරීමේ කාර්යයන් ඉදිරියේදී නිවැරදි මාර්ගයේ යැයි කියා අපි විශ්වාස කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබාගත් පහසුකම ගැන ඔබේ අදහස මොන වගේද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මූල්‍ය පහසුකමක් ලබා ගැනීමට රජය වැඩ කළේ 16 වැනි වතාවටයි. එයට ආරම්භයක් ගත්තේ 2023 මාර්තු මාසයේදීයි. රජය ආරම්භ කළ IMF වැඩසටහන සම්බන්ධයෙන්, දැනට සාධනීය තත්ත්වයක් මතුව තිබෙනවා. අවම වශයෙන් දෙවන සමාලෝචනය දක්වා මිණුම් සලකුණු සපුරා ඇති බව අපි විශ්වාස කරනවා. එබැවින් ආර්ථිකය ස්ථාවර කිරීමට සහ දිගුකාලීන වර්ධනයට සහ තරගකාරීත්වය ඉහළ නැංවීමට පදනම සැකසීමට එවැනි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව අපි රජයට ප්‍රශංසා කරනවා.

ඉදිරියේදී ශ්‍රී ලංකාවේ මැතිවරණයක් පැවැතෙනවා. එහි ප්‍රතිඵලය ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් බලපාන්නේ කොහොමද?

ශ්‍රී ලංකාව ආසියානු සංවර්ධන බැංකුවේ ආරම්භක සාමාජිකයෙක්. දැනට අප සමඟ ගනුදෙනුකර කර වසර පනහක් සම්පූර්ණ වී තිබෙනවා. අපි සෑම සාමාජික රටකටම සංවර්ධනය සඳහා සහාය ලබා දෙනවා. එමඟින් එහි ප්‍රතිලාභ රටේ සමස්ත ජනතාවට ලැබෙනවා. මැතිවරණයේදී කුමක් සිදු වුවද අපි බැංකුවක් ලෙස ශ්‍රී ලංකාවට දිගටම සහාය දෙනවා. දැනට රජය ගෙනෙන සිදු කෙරෙන ප්‍රතිසංස්කරණවල ස්වභාවය සම්බන්ධයෙන් ද ADB අපි බැංකුවක් ලෙස සහාය දක්වනවා.

අපේ රටේ කුඩා, සුළු හා මධ්‍ය පරිමාණ අංශය ගැන ඔබ දකින්නේ කෙසේද?

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය ශ්‍රී ලංකාවේ වර්ධනය සහ සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා වැදගත් උපාය මාර්ගික අංශයක්. එය මෙරට රැකියාවලින් 45% කටත්, දළ දේශීය නිෂ්පාදිතයෙන් 52% කටත්, අපනයනයෙන් 20% කටත් වැඩි දායකත්වයක් සපයනවා. එය අපේ රටේ ව්‍යාපාරවලින් 75% කට වඩා වැඩි ප්‍රමාණයකින් සමන්විත වෙනවා.

රටේ ව්‍යවසායන්, ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය, සංචාරක ව්‍යාපාරය සහ ඉහළ වටිනාකමක් ඇති කෘෂිකර්මාන්තය වැනි ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන සමහර අංශ බොහෝ දුරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනවා. ඔවුන්ට දිරියෙන් ඉදිරියට ඒමට මූල්‍ය පහසුකම් හා තාක්ෂණික පහසුකම් බලා දීමට ADB අපි කටයුතු කරනවා.

ඒ හරහා ක්‍රියාත්මක කළ ණය පහසුකම් ලබා දීම පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කරන්න පුළුවන් ද?

අපි කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසාය ණය ව්‍යාපෘතිය (SMELOC) ක්‍රියාත්මක කළා. එය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය ව්‍යාපෘතිය යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් මුදල් අමාත්‍යාංශය හරහා යොමු කළා. සහභාගී වන මූල්‍ය ආයතන (PFIs) හරහා සුදුසුකම් ලත් SMEs වෙත ණය ලබා දුන් මෙම අරමුදල් ආරම්භයේ දී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ආයෝජන ණය ලබා දීම සිදු කළා.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මූල්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සිදු කළේ කෙසේද?

අපි මෙම අංශයේ කටයුතු කිරීමට මේ වසරේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ණය ආධාරයක් ලබා දෙනවා. එය අප ලබා දෙන්නේ ප්‍රධාන අංශ දෙකකටයි. එකක් තමයි ආර්ථික අර්බුදයෙන් විපතට පත් වූවන් සඳහා හදිසි කාරක ප්‍රාග්ධන සැපයීම. ඊට අමතරව ණය මුදලක් ලබා ගැනීමට ප්‍රමාණවත් ඇපයක් තැබීමට නොහැකි වන අයට ඒ සඳහා උදවු කිරීමට නව ආයතනයක් පිහිටුවීමට ඩොලර් මිලියන 50ක් ලබා දෙනවා.

අලුතින් පිහිටුවන ණය ඇප කරන ආයතනය කුමක්ද?

ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට ණය මුදලක් ලබා ගැනීමේදී ඇප ලෙස ඉදිරිපත් කිරීමට සුරැකුම් නැහැ. ඒ නිසා ඔවුන් අසරණ වෙනවා. එවැනි පිරිස් වෙත උදව් කිරීමට සීමාසහිත ජාතික ණය ඇපකර ආයතනයක් පිහිටුවීමට නියමිතයි. (National Credit Guarantee Institution Limited (NCGI) එහි සංයුතිය සියයට 90ක් රජය සතුයි. සියයට 10ක් සැදුම්ලත් වනුයේ හවුල්කාරීත්ව ණය දෙන බැංකු හා මූල්‍ය ආයතන 13 වෙතිනි. මෙම බැංකු 13න් තුනක් රජය සතුයි. හතක් පෞද්ගලික අංශයේ බැංකුයි. තුනක් පෞද්ගලික අංශයේ බැංකු නොවන මූල්‍ය ආයතවලින් සැදුම්ලත් ඒවායි.

කොවිඩ් සමයේ අප රටේ සුළු හා මධ්‍ය පරිමාණ පිරිසට විශේෂයෙන්ම කාන්තා ව්‍යවසායකයන්ට ඔබ බැංකුව උදව් කළාද?

පිළිතුර : Covid 19 කාලයේදී බිඳ වැටුණු ව්‍යාපාර යළි නැංවීමට ADB හි අපි SME අංශයට මූල්‍ය පහසුකම් ලබා දුන්නා. ඇතැම් විට ආපසු නොගෙවන ප්‍රදානයන් පවා ලබා දුන්නා. මේ හරහා සිදු කළේ මූල්‍ය ප්‍රවේශය වැඩිදියුණු කිරීමයි. ඒ සඳහා SMEs කාන්තා ව්‍යවසායකයන්ගේ මූල්‍ය මුලපිරීම (We-Fi) ආධාර කාන්තා SMEs (WSMEs) ප්‍රදානය කිරීමේ ක්ෂණික අරමුදල් අවශ්‍යතා සඳහා කාරක ප්‍රාග්ධන ණය සඳහා අමතර මූල්‍ය පහසුකම් සැපයුවා. ණය සහ WSMES ADB සඳහා පරිසර පද්ධතියක් සංවර්ධනය කිරීමට උපකාර කිරීමේදී සාර්ථක WSME කතා නිෂ්පාදනය කර 2020 දී ප්‍රකාශයට පත් කළා.

2022 ඔක්තෝම්බර් මාසයේදී, පශ්චාත් COVID-19 ප්‍රතිසාධනය සහ පසුව ඇති වූ ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා SME ණය අරමුදල් පිළිබඳව නැවත සමාලෝචනයක් සිදුකළා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයට සහාය වීම සඳහා කාරක ප්‍රාග්ධනය සඳහා නැවත ඒවා සකස් කළා. මීට අමතරව, ADB SME වැඩසටහන් ක්‍රියාත්මක වීම සඳහා, සංවර්ධනය කිරීම සඳහා අප සහාය වුණා. එය හඳුන්වාදීමේ සිට, මේ දක්වා ඒවා කළමනාකරණය කරනු ලබන්නේ ජාතික ව්‍යවසාය සංවර්ධන නියෝජිතායතනය (NEDA) විසිනුයි. රට තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධනය සඳහා ඔවුන්ගේ දායකත්වය ඒ හරහා ලබාදී තිබෙනවා.

මේ වැඩපිළිවෙළ හරහා කොපමණ පිරිසකට ප්‍රතිලාභ සහ සහන ලැබී තිබේද?

දිරිමත් බොහෝ පිරිසක් මින් ප්‍රතිලාභ ලබා ගෙන ඉදිරියට ආ බව අපි ඉතා සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. ඔවුන් තවත් දුර යා යුතුයි. දියුණුවේ ඉහළටම යා යුතුයි. අප සමඟ කටයුතු කළ WSMEs 1027 පිරිසක් ව්‍යාපාර සැලසුම් සංවර්ධනය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ පුහුණුව ලබා ගෙන තිබෙනවා. මේ වසරේ ජූනි මස අවසන් වන විට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 10,380ක් SMELOC ණයෙන් ප්‍රතිලාභ ලබා ගෙන තිබෙනවා. WSMEs 1.553 WSMEs SMELOC ණය සමඟ මිශ්‍ර වූ We-Fi ප්‍රදානය ලබා ගෙන තිබෙනවා. තවදුරටත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මූල්‍ය ව්‍යාපෘතිය වැඩිදියුණු කිරීම අපගේ අරමුණයි.

ඔබ බැංකුවෙන් ලබා දෙන මූල්‍ය පහසුකම් බෙදා හරින රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 13 ක් තිබෙනවා. ඒවා මොනවාද?

අප සමඟ කටයුතු කරන SMELOC2 සතුව PFIs 13 ක් තිබෙනවා. ඒවා නම් ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, DFCC බැංකුව, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව, නේෂන් ට්‍රස්ට් බැංකුව, පෑන් ඒෂියන් බැංකුව, සණස බැංකුව සහ යූනියන් බැංකුව වෙනවා. ඔවුන් ව්‍යාපෘති සැලසුම් කිරීමේදී කාන්තා ව්‍යවසායකයින් බොහෝ ආකාරවලින් ඇතුළත් කර ඇති අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හරිතකරණය කිරීමට දේශගුණ මූල්‍ය සැපයීමටද ප්‍රමුඛතාවය සපයා තිබෙනවා.

ජයසිරි මුණසිංහ

www.dinamina.lk
Social Sharing
අවකාශය නවතම සාකච්ඡා