අයිතිවාසිකම් පෙත්සම් 09ක් නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභා කෙරේ!

Fundamental Rights Petitions

විවිධ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් මීට වසර පහකට පමණ පෙර ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 09කට අදාළව කරුණු තහවුරු කිරීමට කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධව එහි පෙත්සම්කාර පාර්ශවයන් දැඩි දෝෂාදර්ශණයන්ට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් සියල්ලම රුපියල් 10,000 බැගින් වූ නඩු ගාස්තුවකට යටත්ව ඉකුත් 05 වනදා නිෂ්ප්‍රභා කර ඇති අතර මෙම නඩු ගාස්තුව එදින සිට මාසයක් තුළ ගෙවිය යුතු බවට නියම කර ඇත.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 (5) වගන්තිය අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මානව හිමිකම් නඩු මාස දෙකක් ඇතුළත විභාග කර තීන්දුව ලබාදිය යුතුය. එහෙත්, මේ සම්බන්ධ ප්‍රායෝගික ගැටලු තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙලෙස නියෝග කිරීම සිදුකළේ 2019 වසරේ සිට මේ වන තෙක් පෙත්සම්කාර පර්ශවයන් විසින් කරුණු තහවුරු කිරීමට පියවර නොගැනීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකාරණය මඟින් නිකුත් කරණු ලැබු නොතීසි මත එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී ය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ලක්ම දීර්ඝ කාලයකට පෙර ගොනු කර තිබු බව අධිකරණය හමුවේ අනාවරණය වීමත් සමඟ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ඉල්ලා ඇති අතර එහිදී ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු තුරෙයි රාජා මහතා පවසා ඇත්තේ මෙම පෙත්සම් ගොනු කිරීමෙන් පසුව පෙත්සම්කාර පාර්ශවය විසින් කිසිදු පියවරක් හෝ කරුණු දැක්වීමක් නොකළ බවත් මේ අයුරින් කටයුතු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ‍ය. ඒ අනුව මෙම පෙත්සම් සියල්ල ගාස්තුවට යටත් කොට නිෂ්ප්‍රභා කරන බවට විනිසුරු මඬුල්ල මඟින් නියෝග කරන ලදී.

චේතනා ගෝමිස්
Social Sharing
අවකාශය නවතම