අල්ලස් කොමිසමට වත්කම් බැරකම් ප්‍රකාශ නොකළ නීති සම්පාදකයන් 90ට එරෙහිව නඩු ප්‍රමාද ඇයි?

commission to investigate allegations of bribery or corruption

නව දූෂණ විරෝධී පනතට අනුකූලව ශ්‍රී ලංකාවේ නීති සම්පාදකයින් 225 දෙනාගෙන් අවම වශයෙන් 90ක් වත් තවමත් ඔවුන්ගේ වත්කම් සහ බැරකම් තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (CIABOC) ලබා දී නොමැති බව ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කරයි.

නව දූෂණ මර්දන පනත අනුව, වත්කම්, බැරකම් ප්‍රකාශ ලබා නොදීම වෙනුවෙන් රු. ලක්ෂ දෙකක දඩ හා අවුරුදු තුනක සිර දඬුවම් නියම කළ හැකිය. වත්කම්, බැරකම් ප්‍රකාශ ලබාදීම මාසයක් පමා වුවහොත්, මාසයක වැටුප වැනි අධිභාරයක් ද, මාස දෙකක් පමා වුවහොත්, මාසික වැටුප මෙන් හයගුණයක අධිභාරයක් ද පැනවේ. මාස තුනකට පසු නඩු පැවරීම සඳහා විමර්ශන ඇරඹේ.

දූෂණ මර්දන පනතේ මෑත කාලීන සංශෝධන මගින් ජනාධිපතිවරයා, අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සහ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද රජයේ නිලධාරීන් පළාත් ආණ්ඩුකාරවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය සේවයේ නිලධාරීන්, තේරී පත් වූ නියෝජිතයන් සහ පළාත් පාලන ආයතනවල නිලධාරීන් මෙන්ම විනිසුරුවන් ද වත්කම් හෙළි කළ යුතු බව නියම කර ඇත. CIABOC විසින් තමන්ට ලැබී ඇති රාජ්‍ය නිලධාරීන්ගේ සියලු වත්කම් සහ බැරකම් පිළිබඳ විස්තර එහි නිල වෙබ් අඩවියේ ‘වත්කම් ප්‍රකාශන’ උප කාණ්ඩය යටතේ ඉදිරිපත් කර ඇත.

CIABOC නිල වෙබ් අඩවියේ දක්වා ඇති විස්තරවලට අනුව, මේ වන විට තම වත්කම් බැරකම් ප්‍රකාශ කර ඇත්තේ මන්ත්‍රීවරුන් 135 දෙනෙකු පමණි. ඒ අනුව මන්ත්‍රීවරුන් 90 දෙනෙකු තවමත් සිය වත්කම් බැරකම් ප්‍රකාශ කර නොමැති අතර ප්‍රකාශ කළ ලැයිස්තුවට අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, කැබිනට් අමාත්‍යවරුන් 13 දෙනෙකු, විපක්ෂ නායකවරයා, රාජ්‍ය අමාත්‍යවරුන් 24 දෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 95 දෙනෙකු ඇතුළත් වේ.

නව දූෂණ විරෝධී පනත පැමිණෙන්නේ ඩොලර් බිලියන 3 ක ඇපදීමේ පැකේජයක් යටතේ දූෂණයට එරෙහිව සටන් කිරීමට ශක්තිමත් නීති ගෙන එන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පරිපාලනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) පොරොන්දු වීමෙන් පසුවය.

පෙරදී වත්කම් හා ආදායම පමණක් සැළකිල්ලට ගත්ත ද අලුත් පනත යටතේ වියදම හා වෙනත් ආයතන ආදිය සමග බැඳියාවන් ද සලකා බලනු ලැබේ. රාජ්‍ය නිලධාරින් වත්කම්, බැරකම් ප්‍රකාශ ලබාදිය යුතුව තිබුණේ මාර්තු 31 දිනෙන් අවසන් වන වර්ෂයට අදාළව ජුනි 30 වන විටය. නව පනත යටතේ මිලියනයකට වැඩි ආදායමක් ලැබුණු හැම විටම මෙන්ම, රාජ්‍ය සේවයෙන් ඉවත් වී වසර දෙකක් යන තෙක් ද වත්කම්, බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුය.

පැරණි නීතිය අනුව, ඇමතිවරුන් වත්කම්, බැරකම් ප්‍රකාශ ලබාදිය යුත්තේ ජනාධිපතිවරයාටය. ඒවා ලබාගත් බවට දැනුම්දීමක්වත් කිරීම අවශ්‍ය නොවේ. නව පනත යටතේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුත්තේ, ඒ වෙනුවෙන් අල්ලස් කොමිෂන් සභාවේ පිහිටුවා ඇති වෙනම කාර්යාංශයටය. එය කළ යුත්තේ විද්‍යුත් ප්‍රකාශනයක් ලෙසයි. 2018, 2019 සමයේදී විද්‍යුත් වත්කම්, බැරකම් ප්‍රකාශ ආකෘතියක් සකසන ලදි. ඒ අනුව, පද්ධතිය හරහා පෙර වත්කම්, බැරකම් ප්‍රකාශය යාවත්කාලීන කළ හැකි අතර, එය ලබාදුන් බවට දැනුම් දීමක් ලබාගත හැකිය. එමෙන්ම එය සතියක් හෝ දෙකක් ඇතුළත සංස්කරණය කළ හැකිය.

නව පනත යටතේ වාහන, ඉඩම් වැනි වත්කම් පිළිබඳ තොරතුරු විද්‍යුත් මාර්ගයෙන් ආයතනවලින් ලබාගත හැකිය. අනෙකුත් නීතිවල කුමක් සඳහන් වුවත්, අල්ලස් කොමිෂන් සභාවෙන් නියෝග කළහොත් සෑම පුද්ගලයකුම තොරතුරු ලබාදිය යුතු අතර, එය කඩකිරීම අපරාධ වරදකි.

චේතනා ගෝමස්

Social Sharing
අවකාශය නවතම