මිරිහානේ සිද්ධියට අත්අඩංගුවටගත් මාධ්‍යවේදියාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනේ.

mirihana incident

හිටපු ජනපධිතිගේ නිවෙස වැටලීමේ සිද්ධියට අත්අඩංගුවටගත් මාධ්‍යවේදියාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනේ.

2022  වසරේ අප්‍රේල් 01 වැනි දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස වැටලීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ මාධ්‍යවේදී සඳුන් අරෝෂණ ඇතුළු පුද්ගලයන් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් සති තුනක් ඇතුළත වගඋත්තර සපයන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිසීයට හා විශේෂ කාර්‍ය බලකායට නියෝග කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙලෙස නියෝග කරනු ලැබුවේ මාධ්‍යවේදී සඳුන් අරෝෂණ මහතා ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු විසින් ගොනුකොට තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව ය. මාධ්‍යවේදී සඳුන් අරෝෂණ ඇතුළුව පෙත්සම්කාර පාර්ශ්වය මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමෙන් මුලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවූවා යැයි පවසා මෙම පෙත්සම් ගොනු කර ඇත. අධිකරණය විසින් මාධ්‍යවේදී ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකුගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම අවසර දී ඇති අතර අධිකරණය ඉතිරි පෙත්සම විභාගයට ගැනීම ප්‍රතිෂේප කර ඇත.

මෙහිදී පොලිස්පති, විශේෂ කාර්‍ය් බලකායේ නිලධාරි මිරිහාන පොලිස් ස්ථානාධිපති ඇතුළු පිරිසක්    වගඋත්තරකාර පාර්ශවය ලෙස නම් කර ඇත. නීතීපති වෙනුවෙන් පෙනී සිටී ජ්‍යෙෂ්ඨ නීතිඥ ෂවීන්ද්‍ර වික්‍රම මහතා අධිකරණය අමතමින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බවට මූලික විරෝධතා කිහිපයක් ඉදිරිපත් කරන ලෙස මෙහි දී පවසා ඇත.

පෙත්සම්කාර පාර්ෂවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තීෂ්‍ය වේරගොඩ මහතා පවසා ඇත්තේ ඔවුන් කිසිවකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකදී හඳුනාගෙන නොමැති බවත් ඔවුන් මෙම සිදුවීමට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ය.

දෙපාර්ශ්වයේ කරුණු සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය මාධ්‍යවේදී සඳුන් අරෝෂණ මහතා ඇතුළු පුද්ගලයන් සිව් දෙනාගේ පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් ඉතිරි පෙත්සම් විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කර ඇත. ඒ අනුව මෙම පෙත්සම පෙබරවාරි මස 22 වන දා විභාගයට ගැනීම නියමිතව ඇත.

– චේතනා ගෝමිස් –
Social Sharing
අවකාශය නවතම