සංචාරක ක්ෂේත්‍රයෙන් මෙම වසරේ පළමු මාස 06 ඇතුළත ඇ.ඩො මිලියන 1,577ක ආදායමක්!

sri lankan tourism

ශ්‍රී ලංකාව 2024 වසරේ ජනවාරි මස සිට ජූනි මාස කාලය ඇතුළත එනම් මේ වසරේ පළමු මාස 06 ඇතුළත සංචාරක ක්ෂේත්‍රයෙන් රුපියල් කෝටි 46,700 ක එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,577 උපයාගෙන තිබේ.

2023 වසරේ පළමු මාස හය ඇතුළත සංචාරක ක්ෂේත්‍රයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 875ක ආදායමක් උපයාගෙන ඇති අතර එය මෙම වසරේ  උපයාගෙන ඇති ආදායමත් සමඟ සසඳා බලන කළ බොහෝ පහළ අගයක් වන අතර ශ්‍රී ලංකා මහ බැංකුව ද පෙන්වා දෙන්නේ 2024 වසරේදී පෙර වසරට සාපේක්ෂව දෙගුණයකට ආසන්න ආදායමක් උපයාගෙන ඇති බවයි.

මෙම වසරේ මුල් මාස කිහිපය ඇතුළත විදෙස් සංචාරකයන් පැමිණිම 100% දක්වා ඉහළ ගිය අතර මෙම වසරේ මුල් මාස කීපය ඇතුළත විදෙස් සංචාරකයන් 1,010,249 දෙනෙකු මෙරටට පැමිණ ඇත. එහෙත් 2023 වසරේ පළමු මාස කීපය ඇතුළත පැමිණ තිබෙන විදෙස් සංචාරකයන් ගණන 624,874ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසා ඇත.  ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තාවලට අනුව මෙම වසරේ ජූලි මස පළමු දා සිට විසි අටවන දින ඇතුළත සංචාරකයන් 170,647ක් මෙරටට පැමිණ ඇත.

කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අවපාතයකට මුහුණ දුන් අතර එකළ කඩා වැටුණු ක්ෂේත්‍රයන් අතර සංචාරක කර්මාන්තය ද පැවතුණි. නමුත් 2024 වන විට සංචාරක ක්ෂේත්‍රය කැපී පෙනෙන වර්ධනයක් ඇති ව තිබේ.

Social Sharing
අවකාශය නවතම