පොලිස්පති අර්බුදය නොපමාවම විසදා ගත යුතුයි! – කරූගෙන් නිවේදනයක්

Karu Jayasuriya IGP supreme court decision

මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබෙන පොලිස්පති තනතුර සම්බන්ධයෙන් ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය’ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එහි සභාපති හිටපු කතානායක කරූ ජයසූරිය ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නිවේදනයෙන් අවධාරණය කර තිබෙන්නේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය දරණ ස්ථාවරයන් හි ඇති පරස්පරතා මුල් කරගනිමින් පැන නැගී තිබෙන මත ගැටුම් නොපමාව ම විසදා ගත යුතුව ඇති බවයි.

එමෙන් ම අදාළ කරුණ සම්බන්ධයෙන්, කතානායකවරයා  ප්‍රමුඛ ව්‍යවස්ථා සභාව සහ ජාතික පොලිස් කොමිසම එක් වී සාකච්ඡා කර කඩිනමින් ම සුදුසු නිර්දේශ ලබා දෙන ලෙස ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

මතු දැක්වෙන්නේ එම සම්පූර්ණ නිවේදනය යි.

පොලිස්පති තනතුරට අදාළව ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය දරණ ස්ථාවරයන් හි ඇති පරස්පරතා මුල් කරගනිමින් ඇති වී තිබෙන මත ගැටුම් නොපමාවම විසදා ගත යුතුව ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නැවත නැවතත් අවධාරණය කරනු කැමැත්තෙමු. එහිදි සංවිධානයක් ලෙස අප ඉතාමත් ම වගකීමකින් යුතුව යෝජනා කරන්නේ ගරු කතානායකතුමා ප්‍රමුඛ ව්‍යවස්ථා සභාව සහ ජාතික පොලිස් කොමිසම නොපමාව ම එකට එක් වී සාකච්ඡා කර සුදුසු නිර්දේශ ලබාදෙන ලෙස ය.

එමෙන් ම 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලගැන් වී ඇති පසුබිමක වුව ද ව්‍යවස්ථා සභාවේ තවත් එක් සාමාජික තනතුරක් පුරප්පාඩුව පවතින බව අපගේ අවධානයට ලක් වී ඇත. මෙය ද ඉතාමත් ම අවාසනාවන්ත තත්ත්වයකි. මේ ආකාරයේ අත්‍යාවශ්‍ය පත්වීමක් මේ වන තෙක් ම  සපුරා නොතිබීම අපට තේරුම්ගත නොහැකි ය. පසුගිය කාලයේ ව්‍යවස්ථා සභාව මගින් ගනු ලැබූ ඇතැම් තීරණ පදනම් කරගනිමින් මතු වූ විවිධ පරස්පර මත සැලකීමේ දී මෙම පත්කිරීම නොපමාව ම සිදු කළ යුතුව ඇතැයි යන්න අපගේ විශ්වාසය යි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප වගකිව යුත්තන්ගේ අවධානයට යොමු කරන අනෙක් කරුණ වන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් උදෙසා දැනට බලපවත්නා සියලු ම නීති අකුරට ම ක්‍රියාත්මක කරන ලෙසට ය. ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත ද පසුගිය කාලය තුළ දී ඇති වූ ආන්දෝලනයන් නැවත වෙනත් හෝ ආකාරයකට ඇති නොවීමට කටයුතු කිරීම සියලු ම පාර්ශ්වයන්ගේ වගකීමකි.

මේ වන විට ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර ඊට අදාළ දින වකවානු පවා ගැසට් කර අවසන් ය. එය ඉතාම පැහැදිලි සහ නිශ්චිත තත්ත්වයකි; එමෙන් ම ව්‍යවස්ථානුගත නියමයකි. ඒ අනුව සියලු ම දේශපාලන පක්ෂ සහ වගකිව යුතු සෑම ආයතනයකින් ම අප ඉල්ලා සිටින්නේ ලැබී ඇති මෙම අවස්ථාව රටේ මතු යහපත උදෙසා සාධාරණ හා යුක්ති සහගත වන ආකාරයට යොදාගන්නා ලෙස ය.”

 Karu Jayasuriya

 

(ජයසිරි අලවත්ත)
theleader.lk
Social Sharing
අවකාශය නවතම