රතු කමිස සන්ධානයේ අවසන් පුරුක…!

මොන තරම් වැඩ තිබ්බත් බාහු සහෝදරයා ගැන වචනයක් නොලිය බැහැ. ඒ මීට දශක කිහිපයකට කළින් හිටපු ප්‍රතිපත්ති ගරුක රතු කමිස කරුවන්ගේ සන්ධානය වික්‍රමබාහුගෙන් අවසන් වෙන නිසයි. තවත් කවුරුත් නැහැ. ලාංකීය දේශපාලනයේ ඒ පරිච්ඡේදය අදින් අවසන්.

බාහුගේ දේශපාලන මතයට ගරහන්න ඕනෑම කෙනෙකුට පුලුවන්. ඒත් බාහුට ගරහන්න තැන් හොයාගන්න අමාරුයි. දායක සභා ඇවිස්සෙන එක වෙනයි.

දැන් වමේ බලයක් ගැන කතා කරන, සිහින දකින දේශපාලන පක්ෂ අමු ජාතිවාදී යුදවාදී තැනක ඉන්න කොටත් වික්‍රමබාහු හිටියෙ ඊට විරුද්ධව. මුලු රටම යුද වාත්සල්‍යයක් උඩ පිනුම් ගහද්දිත් වික්‍රමබාහු හිටියෙ එතැන. බලය බෙදීම පිළිබඳව ඔහු දැරූ මතය අවසන් තත්ත්පරයේවත් වෙනස් වුණේ නෑ. ඒ නිසාම දකුණෙ මිනිස්සු ප්‍රභාකරන්ටත් වඩා වික්‍රමබාහුට වෛර කළා. දෙමළ ජාතිකයන්ගේ ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් ඔහු නිර්භීතව පෙනී සිටියා පමණක් නෙවෙයි කිසිදු බලපෑමක් හමුවේ ඒ මතය වෙනස් කළේ නැහැ.

88,89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණෙන් පැරණි සම්ප්‍රාදායික වමට මරණීය තර්ජන එල්ල වුණා. ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණගේ අවමඟුලේදී මෙය මිනීමරු සංස්කෘතියක ආරම්භය බව ඔහු පැහැදිලිව අනාවැකි කිව්වා. එය එලෙසම සිදුවුණා. පසුව කවුරුන් හෝ වික්‍රමබාහුටත් වෙඩි තිබ්බා. වාසනාවකට ඔහුගේ දිවි ගැලවුණා. ඒත් ඔහු කිසිම විදියකින් වෙඩි උණ්ඩය පුද්ගලිකව ගත්තෙ නෑ. වෙඩි තැබූ පාර්ශවයෙන් පලි ගන්න ආණ්ඩුවත් එක්ක එකතු වුණේ නෑ. රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව හා අතුරුදන් වූවන් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනීසිටියා. බොහෝ සම්ප්‍රදායික වාමාංශිකයන් ආරක්ෂාව පතා අවි අතට ගත්තා. ඒත් වික්‍රමබාහුට “ප්‍රා” ලේබලය ඇලවුණේ නැහැ.

උතුරු නැගෙනහිර යුද්ධය ඇවිලී යද්දී ඔහු දමිළ අතුරුදන් වූවන් වෙනුවෙන්  තනිවම පෙනී සිටියා. බොහෝ විට සිංහල සමාජය තුළ ජීවත් වෙමින් එවැනි නිර්භීත මතයක් දැරීම නිසා පරිභවයට පත් වූ එකම සිංහල දේශපාලනඥයා ඔහුයි. ඒ වෙනුවෙන් ඔහුට කටුනායක ගුවන්තොටුපොලේදී ජාතිවාදී මැරයන්ගේ පොලු පහරවල්වල ගොදුරක් වෙන්න පවා සිදු උනා. ඒත් ඔහු ඔළුව බැන්ඩේජ් කරගෙන තමන්ගෙ මතය වෙනුවෙන් දිගටම සටන් කළා.

වික්‍රමබාහු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිදාරියෙක්. ලෝකයේ බිහිවූ අතිවිශිෂ්ට භෞතික විද්‍යාඥයෙකු ලෙස සැලකෙන ස්ටීවන් හෝකින්ගේ සමකාලීනයෙක්.

පසුව ශ්‍රී ලංකාවට පැමිණි ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවයට එක් වුණා. නමුත් ඔහුගේ අනම්‍ය හා ආණ්ඩු විරෝධී දේශපාලනය නිසා  රැකියාව අහිමි වෙනවා. ඒත් රැකියාව හදා ගන්න ඔහු කිසිදු බලවතෙකු හමුවේ දෙකට තුනට නැමුණේ නැහැ. බාහුට රැකියාව අහිමිවන විට උසස් අධ්‍යාපන ඇමති රනිල් වික්‍රමසිංහ. අවුරුදු 40කට පස්සෙ රනිල් අගමැති ලෙස ඔහුව නැවත සේවයේ පිහිටුවා හිඟ වැටුප් හා විශ්‍රාම වැටුප ලබා දෙනවා.

වික්‍රමබාහු  1962 වසරේදී ලංකා සම සමාජ පක්ෂයට එක් වුණා.  ඉන්පසුව සම සමාජ පක්ෂයේ මධ්‍යම කමිටුවට තේරී පත් වුණා.

1972 වසරේදී ලංකා සම සමාජ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මුක්කු ගැහීම ගැන වික්‍රමබාහු විරුද්ධ වුණා. ඒ නිසාම ඔහුව සමසමාජයෙන් නෙරපා දැමුණා.

වික්‍රමබාහු උපන්නෙ පීඩිත පන්තියේ නෙවෙයි. ඔහුට ලෝකයේ ඕනෑම රටකට ගිහින් ඉතාමත් සුඛිත මුදිත ජිවිතයක් ගත කරන්න පුළුවන්කම තිබුණා. ඒත් ඔහු පෑගෙන මිනිස්සු වෙනුවෙන් ඒ සියල්ල අතහැරියා.  බාහුගේ වම වෙනස්. ඒක ටෙලි නාට්‍යවලින් වම හදාරපු අයට තෝරල දෙන්න බැහැ. කම්කරුවන්ගෙ පොල් රොටිය කන්න ඔහු මැටි ගෙවල් අස්සෙ බඩගෑවෙ නැහැ. අනුන්ගෙන් ඉල්ලගෙන කමිස කලිසම් ඇන්දෙ නැහැ. ඒත් ජිවිත කාලය පුරාම පීඩිතයා ගැන සහකම්පනයකින් ජීවත් වුණා.

ධනවාදය ගැන වැඩියෙන්ම කතා කළේ මාක්ස්. වික්‍රමබාහුත් ධනවාදයට වෛර කළේ නැහැ. ධනය රැස්කර සමාජවාදය බිහි කිරීම පිළිබඳව ඔහු විශ්වාස කළා. මාක්ස්ගේ ආර්ථික මොඩලයට වඩා ඔහු විශ්වාස කළේ සමාජ සමානත්වය. ඒ වෙනුවෙන් ඔහු මාක්ස්ටත් වඩා පෙනී සිටියා. ඒත් ඔහු දූපතක හිර වූ නිසා ජාත්‍යන්තර මිනිසෙක් වුණේ නැහැ.

මීට අවුරුදු කීපයකට කලින් මගේ ජංගම දුරකථනයේ මිස් කෝල් එකක් තිබුණා. වැඩ අඩු වුණාම මම ඒ අංකයට ගත්තා.

“මට කෝල් එකක් තිබුණා. කවුද මේ?”

“මම වික්‍රමබාහු.”

“වික්‍රමබාහු සහෝදරයාද ? “මම නිකමට ඇහුවා.

“ඔව්. බාහු තමයි. කවුද කියල බැලුවෙ.”

එහෙම කියල ඔහු ෆෝන් එක තිබ්බා. කතා කරපු හේතුව අදටත්  දන්නෙ නැහැ. මම අහන්න ගියෙත් නැහැ. ඒත් මගේ නමින් ඊට කළින් සතියේ කොමියුනිස්ට් නායකයෙකු  වූ චන්ද්‍රසිරි ගජදීරයන් ගැන දිවයින පුවත්පතට ලිපියක් පල වී තිබුණා.

ලංකාවෙ හිටපු මාක්ස් තමයි වික්‍රමබාහු. මාක්ස්ට එංගල්ස් හිටියා. දෙන්න එකතුවෙලා “කොමියුනිස්ට් ප්‍රකාශනය” ලිව්වා. වික්‍රමබාහුගේ අවාසනාවට එංගල්ස් කෙනෙක් හමුවුණේ නැහැ. ඔහුට හිටියෙ වාසුදේව.

වාසු කාලෙන් කාලෙට අයාලෙ දුවද්දි බාහු තමන්ට හරි කියල හිතෙන තැන නතර වෙලා හිටියා. කාටවත් බාහුව එතැනින් පන්න ගන්න බැරි වුණා. බාහුගේ උතෝපියාව කවදාවත් බිහිවුණේ නැහැ. අනාගතයේ බිහිවෙන්නෙත් නැහැ. ඒ වගේම බාහුලත් ආයෙත් කවදාවත් බිහිවෙන එකක් නැහැ. ඒක සන්නාමයක්. ජීවිත කාලයක් පුරා මාක්ස්ව අතනොහැරපු බාහුට කවුරුත් ලෙනින් කිව්වෙ නැහැ. කස්ත්‍රෝ කිව්වෙ නැහැ. ඔහු වික්‍රමබාහුම තමයි.

ශානක මධුශාන් ලියනගම මුහුණ පෙතෙනි,

Social Sharing
අවකාශය නවතම