“දෙමළ ජනතාවට මේ රටට ලැබුණා වූ නිදහස කළුයි. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කළුයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කළුයි. මේ දේශපාලන පක්ෂ සියල්ල කළුයි. ජේ.ආර්. බලයට පත්වෙලා 1977 දී ජනසංහාරයක් කලා. 1978 දීත් කලා, 80 දීත් කලා. 81 ත් කළා. යාපනයේ පුස්තකාලය ගිනි තිබ්බ හැටිත් අපි දන්නවා. 1983 දී හමුදාව යාපනයේ දී කළ දේවල් අපි දන්නවා. හමුදාවේ ක්‍රියාකාරකම් වලට ප්‍රතිචාරයක් ලෙස තමයි දෙමළ සන්නද්ධ තරුණයන් හමුදාව ප්‍රහාරයක් එල්ල කරේ.
ජේ.ආර්.මොනවද කලේ. එයා සාමාන්‍ය ජනතාව මැරුවා. ඒක ජනසංහාරයක්. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාවිච්චි කරලා කරපු ජනසංහාරයක්. ජේ.ආර්. බලයට පත් වුනු වෙලාවේ විපක්ෂ නායක වුනේ දෙමළ ජාතිකයෙක්. ඒක දරාගන්න බැරි වුනා යූඑන්පී එකට. ශ්‍රීලංකා නිදහස් පක්ෂයට. ඒ නිසා 1983 ජනසංහාරය දිගටම සිදුවුනා. මේ වෙනකං දෙමළ ජනතාවට සාමකාමීව ජීවත්වීමට ඇති අයිතිය නොදී සිටිනවා. ඒ නිසා දෙමළ ජනතාවගේ ජීවිතයේ හැම දිනයක්ම කළුයි.
ඊට විරුද්ධව අද මෙතන සුළු පිරිසක් රැඳී සිටිනවා. අද මෙතන නැති පිරිස ඉන්නේ රනිල් එක්ක. අනුත් එක්ක. ඔවුන් ඉන්නේ සජිත් එක්ක. මේ පක්ෂ එකතු වෙලා තමයි එදා ඒ ජන සංහාරය කළේ. අද මෙතන සුළු පිරිසක් හෝ රැස්ව සිටින්නේ ඊට විරුද්ධව. උන්ගේ දේශපාලනයට විරුද්ධව. ඒ නිසා අපි ජාත්‍යයන්තර ප්‍රජාවට කියනවා අපි යුක්තිය ඉටු වෙලා නෑ. වැලිකඩ බන්ධනාගාරයේ ඝාතනය වුනා 58 දෙනෙක්. යුක්තිය ඉටු වුනේ නෑ. අද අපි ගියා වැලිකඩ බන්ධනාගාරයට දේශපාලන සිරකරුවන් බලන්න. පුද්ගලයෙක් ඉන්නවා අවුරුදු 28 ක්. තාම ඔහුට යුක්තිය ඉටු වෙලා නෑ. ඥාණසාරට ඇප දුන්නා. හිරුණිකාට ඇප දුන්නා. ඒත් අවුරුදු 29 හිරේ ඉන්න මේ තරුණයාට යුක්තිය ඉටු කරන්න බැරි වෙලා. මේවා මනෝමය ඝාතන. මේ නඩු ඔවුන් අහන්නේ නැහැ. හැමදාම කල් දානවා. ඒ කියන්නේ ඒ පුද්ගලයාව මානසිකව මරණවා.
ඊට විරුද්ධව තමයි අපි අද මෙතනට රැස්ව සිටින්නේ.”
1983 ජූලි 23 වෙනි දින යාපනයේ දී සොල්දාදුවන් 13 දෙනෙක් බිම් බෝම්බයකින් ඝාතනය කිරීමෙන් පසුව කොළඹ, බොරැල්ලෙන් ඇරඹි පසුව මුළු ලංකාව පුරාම පැතිර ගිය ප්‍රචණ්ඩත්වය නිසා විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි වූ අතර, සම්පත් ප්‍රමාණයක් ද අහිමි විය. දෙමළ ජනතාව විශාල අගාධයකට ඇඳ දැමීය. එය පසුව කළුජූලිය නමින් හැඳින්විණි. මෙම සිදුවීමෙන් පසුව දෙමළ ජනතාව අතර පැවති ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ක්ෂණියකින් ප්‍රචණ්ඩ, සටන්කාමී දේශපාලනයකට ගමන් කළ අතර, ඒ සඳහා ජේ.ආර්.විරෝධී ඉන්දීය දේශපාලනය ද හේතු විය.
ලාංකීය දේශපාලන ගමන් මගෙහි සංධිස්ථානයක් වූ කළු ජූලියේ 41 වෙනි සංවත්සරය අනුස්මරණය කරමින් බොරැල්ලේ සුසාන භූමිය ඉදිරිපිට වටරවුමේ පැවති වැඩසටහනේ දී සිවිල් සමාජ හා මානව හිමිකම් ක්‍රියාධරයෙක් වූ එස්.සත්‍යවේල් පියතුමා ඒ අදහස් පැවසීය. උතුරු දකුණු සහෝදරත්වය විසින් සංවිධානය විසින් මෙම අනුස්මරණ වැඩසටහන සංවිධානය කර තිබුණි. සත්‍යවේල් පියතුමා, නීතිඥ ශ්‍රීනාත් පෙරේරා, සිරිතුංග ජයසූරිය, සන්ධ්‍ය එක්නැලිගොඩ, මෙලනි ගුණතිලක, ධනුක කහඳගමගේ යන පුද්ගලයන් ද අදහස් දැක්වීය.
කළුජූලියේ සහ ඉන් අනතුරුව දශක තුනකට වැඩි කාලයක් තුළ දිග්ගැස්සුණු යුද්ධයේ දී මියගිය සියළු දෙනාගේ ජීවිත වෙනුවෙන් පහන් දල්වා නිශ්ෂබ්දතාවයක් ගත කිරීමෙන් අනතුරුව වැඩසටහන නිමා විය.