විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ලබන 26 වැනිදා ඉදිරිපත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම පනත් කෙටුම්පත ඉදිරිපත් කරනවාද නැද්ද යන්න සභානායකවරයාගේ තීරණයක් බවයි. එහෙත් ඒ වැනි දැනුම්දීමක් මෙතෙක් සිදුකර නැතැයි ද ඔහු කියා සිටියේය.
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය පසුගිය 18 වැනිදා නිකුත් කෙරිණ. එම ගැසට් නිවේදනය නිකුත් කර දින හතකදී එය පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි වේ.
ඒ අනුව පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සඳහා ආසන්නතම දිනය ලබන 26 සිකුරාදා බවද නියෝජ්‍ය මහලේකම්වරයා කීවේය.
ජනාධිපතිවරයාගේ ධූර කාලය හයේ සිට පහක් දක්වා අඩු කිරීමට විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ප්‍රතිපාදන සැලසේ.
මේ අතර මෙම පනත් කෙටුම්පතින් මැතිවරණ කල් දැමීමට උත්සාහ දරන්නේ නම් ඊට දැඩි ලෙස විරෝධය පළ කරන බව පොහොට්ටුව ඇතුළු දේශපාලන පක්ෂ රැසක නායකයෝ පවසති.
විසි දෙක ජනපතිවරණයට බලපෑමක් – මහාචාර්ය ජී.එල්. පීරිස්
විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිවරණයට කිසිඳු බලපෑමක් නොකරන්නේ යැයි ඇතමුන් කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත් එම සංශෝධනය හරහා ජනාධිපතිවරණයට දැඩි බලපෑමක් වන නිසා එම උත්සාහය අනිවාර්යෙන් පරාජය කරන බවත් විපක්ෂ නායකවරයාගේ උපදේශකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසීය.
මහාචාර්ය පීරිස් කොළඹ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමට එකා මෙන් කටයුතු කරන බවත් සිය නියෝගවලට පටහැනිව ගන්නා තීරණවලින් ඇතිවිය හැකි අනුශාංගවලට සහ ඔහුගේ නිර්දේශවලට පටහැනිව සංශෝධනය ගැසට් කළ පුද්ගලයන් වගකිවයුතු යැයි අධිකරණ අමාත්‍යවරයා පවසන බවත් ද මහාචාර්යවරයා කීය.
මෙම මස 9 වැනිදා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්ධන ගුණවර්ධන පළමු වරට මාධ්‍යයට ඉදිරිපත් කළ බවත් 18 වැනි දින අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ, ජනාධිපතිවරණයේ අවසන් වන තුරු යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත ගැසට් නොකරන්නේ යැයි පැවසුව ද අධිකරණ ඇමතිවරයාගේ ප්‍රකාශයට පටහැනිව ජනාධිපතිවරයාගේ නියෝගයෙන් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත ගැසට් කළ බවත් ඒ මහාචාර්ය ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.
උපුටාගැනීමකි