මහබාගේ පොලිස් නිලධාරීන් විශ්‍රාමික OIC ට පහරදීලා – ඇසකට බරපතළ හානි

පොලිසියට ගෙනෙනතුරුත් තමා කවුරුන්දැයි හෙළි කර නෑ

මහබාගේ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් පහරදීම හේතුවෙන් ඇසකට බරපතළ හානි සිදු වූ එම පොලිසියේම සේවය කර ඇති විශ්‍රාමික පොලිස් ස්ථානාධිපතිවරයකු රාගම රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ඇත.

ප්‍රතිකාර ලබා ගැනීමට රාගම රෝහලට ඇතුළත්ව සිටි එම පොලිස් පරීක්ෂකවරයා තමන්ට පහරදීම පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින්

“මම වසර 24ක් පොලිස් සේවයේ සිට මගේ වයස අවුරුදු 46දී පොලිස් ස්ථානාධිපතිවරයකු ලෙස විශ්‍රාම ගත්තා. ඒ 2023.03.01 වෙනිදායි. තව වසර 14ක් මට පොලිස් සේවයේ යෙදී සිටීමට අවස්ථාව තිබ්බත් පෞද්ගලික හේතුවක් මත පොලිස් සේවයෙන් විශ්‍රාම ගත්තා. මම ඊට පස්සේ පොලිසිය සමඟ කිසිදු සම්බන්ධයක් තියා ගත්තේ නැහැ. මම ජූලි මාසේ 17 වැනිදා පෞද්ගලික ගමනක් ගිහින් අලුයම 1.30ට පමණ මගේ කාර් රථයෙන් ආපසු එමින් සිටියදී මට දැඩි නිදිබර ගතියක් ආවා. ඊට පෙර දින උදෑසන මම රුධිරයේ සීනි පරීක්ෂාවක් කෙරුවා. එහිදී අනාවරණය වුණා මගේ රුධිරගත සීනි ප්‍රමාණය 250ක් බව. එම වාර්තාවත් මා හට ඇති වූ නිදිබර ගතියත් අතර සම්බන්ධයක් ඇතැයි සිතූ මා මගේ වාහනය මහබාගේ පොලිස් වසමේ ගුණසේකර මාවතේ මාර්ගයට අවහිරයක් නොවන ලෙස නවතා නිදා ගත්තා. මම කාර් රථය තුළ නිදාගෙන සිටින විට මාගේ කාර් රථයට ඉදිරියෙන් ත්‍රිරෝද රථයක් නවතා නිල ඇඳුම් සහිත පොලිස් නිලධාරීන් තිදෙනෙකු පැමිණ කාර් රථය නවතාගෙන සිටින බවට 119 පැමිණිල්ලක් තිබෙන බව පවසා දැඩි පරුෂ වචනයෙන් මට බැණ වැදුණා. මම හිතුවේ මහජන ආරක්ෂක නිලධාරීන් ලෙස මාගේ තත්ත්වය තේරුම් ගෙන මාව රෝහල්ගත කිරීමට ඔවුන් ක්‍රියා කරයි කියලා. ඔවුන්ගේ හැසිරීම පොලිස් සේවයට අනුචිත බව මම ඔවුන්ට පැහැදිලි කර දීමට උත්සාහ ගැනීමේ දී ඔවුන් මට පහර දී දුරකතන ඇමතුම් මඟින් තවත් නිලධාරීන් එම ස්ථානයට ගෙන්වා ගත්තා. ඔවුන්ට මම හිටපු පොලිස් නිලධාරියෙක් බව ප්‍රකාශ කරන්න ගියේ නෑ. මම දැන් සාමාන්‍ය පුරවැසියකු නිසා එලෙස මා හඳුන්වා දීම නොහොබිනා යැයි සිතුණු නිසයි මම එසේ නොකළේ. ඔවුන් ඊට පසු පොලිස් ත්‍රිරෝද රථයක මාව දමාගෙන පහර දෙමින් මහබාගේ පොලිස් ස්ථානයට රැගෙන ආවා. පොලිස් ස්ථානයේ දී එහි සිටි නිලධාරියකු මාව හඳුනාගෙන ඇයි සර් මේ කියලා ඇහුවා. මොකද මම මහබාගේ පොලිස් ස්ථානයේම සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කර තිබුණා. එවිටයි මට පහර දුන් පොලිස් නිලධාරීන් මම පොලිස් නිලධාරියකු බව දැන ගත්තේ. ඔවුන්ගේ හැසිරීම ඉන් පසු වෙනස් වුණා. මට ඔවුන් කිව්වා මුලදීම කිව්වා නම් මෙහෙම දෙයක් වෙන්න නෑනේ කියලා. එතකොට රටේ සාමාන්‍ය පුරවැසියකුට පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු පොලිසිය මෙ‍ෙහමද හැසිරෙන්නේ කියලා මම ඇහැව්වා. පස්සේ මම කිව්වා මට තියෙන චෝදනා ගොනු කරන්න කියලා. නමුත් ඔවුන් මහබාගේ පොලිසියේ ස්ථානාධිපතිවරයාට කතා කරලා ඔහුගේ උපදෙස් මත මට යන්න කියලා කිව්වා. නමුත් මගේ හැඳුනුම්පත, රියැදුරු බලපත්‍රය, ජංගම දුරකතන දෙක පොලිසියේ රඳවා ගත්තා. මම කිව්වා එහෙම රඳවා ගන්නවනම් එවා නඩු භාණ්ඩ ලෙස සලකුණු කරන්න කියලා. එහෙම කරේ නෑ. මම ගෙදර ගියා. එවිට මගේ ශරීරයේ සීරීම් තුවාල තිබ්බා. ඒ වගේම ඇසකින් දැඩි වේදනාවක් ආවා. එතකොටයි දන්නේ ඇසක් ඉදිමී ඇසට ලේ බැහැලා කියලා. මම පසුවදා උදෑසන පොලිසියට ගිහින් පොලිසිය රඳවා ගත්ත මගේ භාණ්ඩ ලබාගෙන රාගම රෝහලට ගියා. එහිදී වෛද්‍යවරු පරීක්ෂා කරලා ඇසේ තිබ්බ තත්ත්වය හේතුවෙන් රෝහලේ නතර කර ගත්තා. පසු දින තමයි මගේ ටිකට් කැපුවේ. මට මහබාගේ පොලිසියේ ඇතැම් නිලධාරීන් කතා කරන ස්වභාවයෙන් තේරුණා ඔවුන් මට බොරු චෝදනා ගොනු කරන්න සූදානමින් හිටියා කියලා. පොලිස් රාජකාරියට බාධා කරමින් නිලධාරීන්ට පහර දුන්නා වගේ කියලා. පොලිසියේ මෙවැනි හැසිරීම් නිසා මහජන හිතකාමී පොලිසියක් වෙනුවට බිහි වෙන්නේ මහජන පීඩාකාරී පොලිසියක්. මගේ පොලිස් සේවා කාලය තුළ මම දැක්ක දෙයක් තමයි පොලිසියේ ඇතැම් නිලධාරීන් මහජනතාවට බොරු චෝදනා නගමින් සිරගත කිරීම් කරන එක. ඔයාලට උනත් ඒ අය බොරු චෝදනා ගොනු කරන්න පුළුවන්. මම වගේ නිලධාරියකුටත් බොරු චෝදනා ගොනු කරන්න උත්සාහ කරා නම් සාමාන්‍ය ජනතාවට කවර කතාද. පොලිස් සේවය උදාරතර මහජන සේවාවක් බවට පත් කරන්න නම් පොලිසියට ප්‍රතිසංස්කරණ ගණනාවක් කරන අවශ්‍යයි. මට පොලිසිය විසින් කළ අමානුෂික පහර දීමට එරෙහිව නීතිමය පියවර ගැනීමටත්, අවශ්‍ය වගකිවයුත්තන් දැනුම්වත් කිරීමටත් ඉදිරියට පියවර ගන්නවා.”

                             

මෙම පහර දීම සම්බන්ධයෙන් තොරතුරු විමසා සිටීමට මහබාගේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා හට දුරකතනයෙන් කතා කළද ඇමතුම හා සම්බන්ධ වූ නිලධාරියකු ප්‍රකාශ කර සිටියේ ස්ථානාධිපතිවරයා ජනාධිපතිවරයා පැමිණෙන කටයුත්තක් සඳහා විශේෂ රාජකාරි ගොස් ඇති බැවින් අද දින ස්ථානාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට නොහැකි බවයි.

ජා ඇළ සමූහ – ප්‍රසංග පෙරේරා

උපුටා ගැනීම – දිනමිණ

Social Sharing
නවතම පුවත්