යුක්තිය සහ වගවීම සඳහා ජනතා එකමුතුව (PUJA) වැඩසටහන යටතේ පැවති දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකදී විශේෂඥ මනෝ වෛද්‍ය ප්‍රසාද් මොහොට්ටි බරපතල මානව හිමිකම් කඩවීම් වලින් පසු සමාජය සුවපත් කිරීමේදී සංස්කෘතික හා අධ්‍යාත්මික ක්‍රියාකාරකම්වල තීරණාත්මක කාර්යභාරය අවධාරණය කළේය. පහන් දැල්වීම, පිරිත් සජ්ඣායනා කිරීම, බෝධි පූජා වැනි ආගමික කටයුතු මෙන්ම ශාපයක් ලෙස පොල් ගැසීම පවා සමාජය සුවපත් කිරීමේ ක්‍රියාවලියේ දී වැදගත් වන අයුරු ඔහු පෙන්වා දුන්නේය.
අර්බුදවලින් පසුව ධනාත්මක වෙනස්කම් මතු කරගැනීමට පශ්චාත් කම්පන වර්ධනයට පහසුකම් සැලසීමේ අවශ්‍යතාවය වෛද්‍ය මොහොට්ටි අවධාරණය කළේය. “මීට පෙර කවදාවත් දැක නැති ධනාත්මක පරිවර්තනයන් එම ජීවිතයන් වලට ළඟා විය හැකියි. පොත් ලිවීම, කලාත්මක කෘති නිර්මාණය කිරීම, අධ්‍යාත්මික වර්ධනය, පුණ්‍ය ආයතන පිහිටුවීම සහ කාන්තාවන් සවිබල ගැන්වීම මතු විය හැකි එවැනි ධනාත්මක වර්ධනයන් සඳහා උදාහරණ වේ.
ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය මොහොට්ටි පෙන්වා දුන්නේ එය උතුරට පමණක් සීමා නොවී දකුණ ඇතුළු සමස්ත සමාජයටම බලපාන බවයි. පශ්චාත් යුධ සමයේ නිර්මාණය වූ සිනමා පටවල අධිපතිවාදී දෘෂ්ටිකෝණයන් ඔස්සේ මෙම සමාජ ප්‍රශ්නය පිළිබිඹු වී ඇති බව ඔහු සඳහන් කළේය. “අපි හැමෝම තුවාල ලැබූ පුද්ගලයන්. ඒ නිසා අපි මෛත්‍රීයේ සාක්‍ෂිකරුවන් වීමට උත්සාහ කරමු” යැයි ඔහු ඉල්ලා සිටියේය.
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක, ඉදිරි මැතිවරණ වලදී ජනප්‍රිය මාතෘකාවක් නොවන මුත් සංක්‍රාන්ති යුක්තිය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. ඉදිරි කිසිදු රජයකට මෙම තීරණාත්මක ප්‍රශ්නයට විසඳුම් සෙවීම වැළැක්විය නොහැකි බව ඔහු අවධාරණය කළේය. “ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ තිරසාර සාමය ගොඩනැගීම සඳහා අඛණ්ඩ අධ්‍යාපනය සහ සමාජ දැනුවත්භාවය ඉතා වැදගත්” යැයි ඔහු පැවසීය.
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ පුජා ව්‍යාපෘති සම්බන්ධීකාරක අස්මා රිෆාඩ් විසින් සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කළ අතර ඉන් අනතුරුව පැමිණ සිටි පිරිස අතර සාකච්ඡාවක් පැවැත්විණි.