සැමරුම් දින නැති අරගලයේ මිත්‍යාව සහ යථාර්ථය

go home gota protests
සී ජේ අමරතුංග

සාමකාමී ජනතා අරගලයකින් විධායක ජනාධිපතිවරයකු තනතුරින් පන්නා දමා වසර දෙකක් ගෙවී යන්නේ ඒ ගැන සැලකිය යුතු මට්ටමේ සමරුමකින් පවා තොරව ය. අරගලයෙන් ප්‍රහාරයට ලක් වූ බලවේග එය සිහිපත් නොකිරීම ගැන පුදුම විය යුතු නැත  එසේ වුවත්, එම අරගලයට සහභාගී වූ කණ්ඩායම් සහ මහජනයා පවා එහි ජයග්‍රහණය ඉහළින් සැමරීමට ඉදිරිපත් නොවීම පුදුම සහගත තත්ත්වයකි.

ආර්ථික සහ පසුව දේශපාලන අර්බුදයක් ලෙස ආරම්භ වී මෙම ජනතා අරගලයෙන් වර්ධනය වූ දේශපාලන ක්‍රියාවලිය තවමත් අවසන් වී නැත. එබැවින් අරගලය ගැන නිවැරදි තේරුම් ගැනීමකට උත්සහ දැරීම වර්තමාන දේශපාලන තත්ත්වය තේරුම් ගැනීම සඳහා ද වැදගත් ය. එමෙන් ම වර්තමානයේ හෝ අනාගතයේ ඕනෑම ජනතා ක්‍රියාකාරීත්වයක් සඳහා ක්‍රියාත්මක වන උදවියට මෙම අරගලයේ ජනතා හැසිරීම තේරුම් ගැනීම වැදගත් වනු ඇත.

දැවැන්ත ජනතා අරගලය

 go home gota protests

ගෝඨා ගෝ ගම අරගලය මෙරට ඉතිහාසයේ නොවූ විරූ දැවැන්ත සිදුවීමකි. එය මෙරට ඉතිහාසයේ සිදු වූ දැවැන්ත ම ජනතා අරගලය යි. එහි ප්‍රතිඵල ලෙස පළමුවෙන් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට සහ ඔහුගේ ඇමති මණ්ඩලයට බලයෙන් ඉවත්වීමට සිදුවීය. 2022 මැයි 9 දා අගමැති මහින්ද රාජපක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වන්නට පෙර ගෝඨා ගෝ ගමට මැර ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග එයට ප්‍රචණ්ඩ ප්‍රතිචාරයක් ද එල්ල වුයේ ක්ෂණිකව ය. එදින රාත්‍රියේ ක්‍රියාත්මක වූ කිසියම් සංවිධානාත්මක දේශපාලන කණ්ඩායමක් ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයින්ගේ නිවාස ගිනිබත් කළේය. රටේ දේශපාලන අරාජිකත්වයක් ඇති වී දින ගණනාවක අවිනිස්චිත තත්ත්වයකින් පසු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය බාරගනීමත් සමග යම් සාපේක්ෂ ස්ථාවරබවක් ඇතිවිය.

ආණ්ඩුවේ ප්‍රබලයකු වූ බැසිල් රාජපක්ෂ මහතා අරගලකරුවන්ගේ දැඩි විරෝධයට ලක්වීමෙන් පසු  පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම සිදු වුයේ ජුනි මස 9 දා ය. එයින් ද අර්බුදය සමනය වුයේ නැත.

විශාලතම ජනතා කැරැල්ල ඇති වුයේ ජුලි 9 දා ය. කැරලිකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වී එය අල්ලා ගනිද්දී ජනාධිපතිවරයා ආරක්ෂිතව පිටව ගියේය. එයින් ලේ වැගිරීමකින් තොර බල පෙරළියකට මග පෑදිණි. ජුලි 13 දා රටින් පිටව ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත ඒවා තිබිණි.

මහජනයා අරගලය හැර යයි

 go home gota protests

පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයකින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති තනතුරට පත්වීමත් සමග රට සාමකාමී තත්ත්වයට පත්විය. අරගලයේ නායකත්වයේ සිටි පිරිසක් මෙන් ම සාමාන්‍ය ජනයා ද අරගලය ඉන් ඉදිරියට ගෙන යෑමට උත්සහ දැරුවේ නැත. එසේ වුවත්, නව තත්ත්වය නොපිළිගත් අරගල නායකයින් ලෙස පෙනී සිටි පිරිසක් උත්සහ කළේ අරගලය තමන්ගේ දේශපාලන ඉලක්ක වෙත මෙහෙයවීමට ය. එසේ වුවත්, ඒ සියල්ල අසාර්ථක වුයේ අරගලයට සහභාගී වූ ලක්ෂ ගණනක ජනයාගෙන් සුළු පිරිසක් හෝ එම උත්සාහයට සහය නොදීම නිසා ය. එම කණ්ඩායම් වරින් වර කළ කැඳවීම් අනුව උද්ඝෝෂණවලට සහභාගී වුයේ ඔවුන්ගේ කණ්ඩායම්වල ක්‍රියාකාරීන් පමණක් බව පෙනෙන්නට තිබිණි.

ප්‍රශ්නය වන්නේ ගෝඨා ගෝ ගම අරගලය සහ එහි ජනතා අභිලාශ සම්බන්ධයෙන් එහි නායකයින් ලෙස පෙනී සිටි ඇතැම් පිරිස් ගොඩනගා තිබු දැවැන්ත ප්‍රතිරූපය සහ නව තත්ත්වය අතර සම්බන්ධයක් නොමැති බව පෙනෙන්නට තිබීම යි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්වීමෙන් ජනතා අරගලය අවසන් වීම ඇතැම් නායකයින්ට අදහාගත නොහැකි තත්ත්වයක් වී ය.

අරගල සමයේ එක් සටන් පාඨයක්  ලෙස ඉදිරිපත් කරන ලද්දේ “දේශීය විසි පහම එපා “ යන්නයි. එයින් කියැවුණේ මේ දේශපාලඥයින් සියලු දෙනා පන්නා දමා නව පාලනයක් ගොඩ නගා ගන්නට ජනතාව සුදානම් බව යි. එම නව පාලකයින් වන්නට වුවමනාවෙන් සිටි කණ්ඩායම් මෙම සටන් පාඨ ප්‍රචාරය කළා විය හැකි වුව ද, ඒ අවස්ථාවේ එයට මාධ්‍යවල විශාල ප්‍රචාරයක් සමග මෙරට දේශපාලන සමාජය තුළ පිළිගැනීමක් ද ලැබී තිබිණි.

ජනතාව හඳුනා නොගත් නායකයෝ

ඊටත් වඩා මෙම අදහස කියැවුණේ ක්‍රම වෙනසක් හෙවත්, “ සිස්ටම් චේන්ජ් “ යන සටන් පාඨය මගින් ය. එයින් කියැවුණේ සමස්ත ක්‍රමයේ වෙනසක් බව යි. මෙය ප්‍රචාරය කිරීමට පෙරමුණ ගෙන සිටියේ ජනතා නැගිටීමකින් වත්මන් ධනපති ක්‍රමය පෙරළා තමන් අදහන සමාජවාදී ක්‍රමය ගොඩ නැගිය හැකි යැයි සිතා සිටින කණ්ඩායම් ය. ඔවුන් විශ්වාස කළේ මේ මතුව තිබෙන්නේ තමන් විශ්වාස කළ ජනතා නැගිටීම බව යි. තමන්ගේ අභිලාශය ජනතාව මත පටවන්නට මිස ජනතාවගේ ඇත්ත අභිලාශ හඳුනා ගැනීමට එබඳු කණ්ඩායම්වලට වුවමනාවක් තිබුණේ නැත.

එබඳු අදහස් නොදැරූ පිරිස් ද මේ සටන් පාඨයට සහය දුන්නේ තමන් බලාපොරොත්තු වන වෙනත් යම් ක්‍රම වෙනසක් මෙම අරගලය තුළින් බිහිවනු ඇතැයි අපේක්ෂාවෙන් විය හැකි ය.

කෙසේ වෙතත්, අරගලය අවසන් වුයේ ඒ කිසිවක් සිදුවීමෙන් තොරව ය. එබැවින් එබඳු බලාපොරොත්තු තිබු කණ්ඩායම්වලට අරගලයෙන් ලැබුණු සැබෑ ජයග්‍රහණ කිසිවක් ප්‍රමාණවත් වුයේ නැත. එයින් සමහරු කියන්නේ අරගලය අවසන් නැති බව යි. අරගලය තමන්ගේ වැඩක් ලෙස හුවා දක්වන්නට උත්සහ දරන සමහරු තවමත් කියමින් සිටින්නේ ඉදිරි කාලයේ තවත් මහ සටනක් කැඳවන බව යි. එසේ වුවත්, මහජනයා ඔවුන්ට කන්දෙන බවක් පෙනෙන්නට නැත.

තවත් ඇතැම් දේශපාලඥයින් කියන්නේ නායකත්වයේ සිටි ඇතැම් උදවියගේ පාවාදීම් නිසා අරගලය ගබ්සා වූ බව යි. ඒ කියන්නේ තමන් බලාපොරොත්තු වූ දරුවා නොලැබුණු බව යි. ප්‍රශ්නය තිබෙන්නේ අරගලය තුළ ඔවුන් සිතන දරුවා ගැබ්ගෙන සිටි බවට කිසිදු සාක්ෂියක් නොවීම යි.

රාජපක්ෂ පාලනයට එරෙහිව සහ දුෂිතයින් පිටු දැකීමට ජනතාව පෙරට ඒමක් ලෙස ද අරගලයට අර්ථ දැක්වීමක් ඇත. රාජපක්ෂ පාලනය නිසා වර්ධනය වූ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනයා එම පාලනයට වෛර කළ බවට සැකයක් නැත. ඒ බව අරගලය තුළ සිදුවීම් මගින් තහවුරු වී ය. එසේ වුවත්, අරගලයේ පරමාර්ථය වුයේ එම පාලකයින් නෙරපීම බව පසුකාලීන සිදුවීම් මගින් තහවුරු වුයේ නැත. දුෂිත දේශපාලඥයින් සහ ඔවුන් රකින රනිල් වික්‍රමසිංහ ජනාධිපති නෙරපීමට කියා පසුව සංවිධනය කළ උද්ඝෝෂණවලට ජනතාව සහභාගී වුයේ නැත. සංවිධාන 47 ක් එක්ව 2022 නොවැම්බර් 2 දා මරදානේ ආරම්භ කළ උද්ඝෝෂණයේ අත්දැකීම එය යි. එය කැඳවූ සංවිධනවල සමස්ත සාමාජිකත්වයවත් උද්ඝෝෂණයට සහභාගී වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත. එහි තේරුම නම් ජනතාවගේ සැබෑ අභිලාශ එහි සන්විධායකයින්ට අවබෝධ වී නොතිබුණු බව යි.

ජනතාවට අවමන් කිරීම

අරගලය ගැන තිබෙන තවත් විග්‍රහයක් නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එය මර්දනය කළ බව යි. එයින් නොකියා කියන්නේ ජනතාව මර්දනයට බිය වූ බව යි. මෙය කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර මැද හමුදා පොලිස් මුර කපොලු බිඳගෙන ගෝඨාභය ජනාධිපතිට එරෙහිව සටන් කළ ජනයාට කරන නිගරුවකි. ඇත්ත ප්‍රශ්නය වන්නේ මර්දනයට ගෝඨාභය ජනාධිපතිට නැති ශක්තියක් රනිල් වික්‍රමසිංහට ලැබුණේ කෙසේ ද යන්න යි. හැට නව ලක්ෂයක ජන වරමක් තිබු ගෝඨාභය ජනාධිපතිට නැති බලයක් ජන වරමක් නැතැයි අරගලකරුවන් ම කියන රනිල්ට ලැබුණේ කෙසේ ද ?

එක ම හේතුව ගෝඨාභය ජනාධිපතිට එරෙහි සටනට ජනතාව ක්‍රියාශීලී ලෙස සහභාගී වීම සහ ඉන් පසු විවිධ දේශපාලන කණ්ඩායම් කැඳවූ සටන්වලට ජනතා සහභාගීත්වයක් නොවීමත් ය. දශ ලක්ෂයක් ගෙන්වා කොළඹ වටලනවා කියා පන්දහසක් වත් ගෙන්වා ගන්නට බැරි වූ විට එය මර්දනය කිරීම අපහසු නැත.

ගෝඨා ගෝ ගම අරගලය ගැන දේශපාලන කණ්ඩායම් ගොඩනගා තිබු මහා ප්‍රතිරූපය මගින් ජනතාවගේ මෙම හැසිරීම තේරුම් කළ නොහැකි ය.

මිත්‍යාවේ විපාක

go home gota protests

කෙසේ වෙතත්, ගෝඨා ගෝ ගම අරගලය මෙරට දේශපාලන ඉතිහාසයේ සිදු වූ ඉහළ ම ජනතා ක්‍රියාකාරීත්වය යි. එය සාර්ථක අරගලයකි. එමෙන් ම විශිෂ්ට අරගලයකි. ප්‍රශ්නය තිබෙන්නේ එයට නිසි තැන තබා යථාර්ථවාදී විග්‍රහයක් කරනවා වෙනුවට තම තමන්ගේ දේශපාලන දෘෂ්ටිකෝණ තුළින් බැලීමෙන් ඒ පිළිබඳ මිත්‍යාවක් නිර්මාණය කර ගැනීම යි. එසේ වූ විට, එහි ප්‍රතිඵලය වන්නේ දේශපාලන සිදුවීම් තේරුම් ගත නොහැකි ප්‍රෙහේලිකා බවට පත්වීම යි.

ඕනෑම සංසිද්ධියක් ගැන විග්‍රහයක නිවැරදිතාවය මනින මිනුම් දණ්ඩක් වන්නේ එම විග්‍රහය මගින් සිදුවීම් කොතරම් සාර්ථක ලෙස පැහැදිලි කරන්නේ ද යන්න යි. සිදුවීම් හොඳින් පැහැදිලි කිරීමට මුල් විග්‍රහය අසමත් වන්නේ නම් එය වඩා හොඳින් පැහැදිලි කරන වෙනත් විග්‍රහයක් සොයා ගැනීමට සිදුවෙයි. දැනුම, නැතහොත් විද්‍යාව වර්ධනය වන්නේ ඒ ආකාරයට ය.

ලෝකය සහ විශ්වය ගැන පැවති මුල් කාලීන විග්‍රහයක් වුයේ සුර්යයා, ග්‍රහලෝක ඇතුළු විශ්වය පෘතුවිය නොහොත් මේ ලෝකය වටා භ්‍රමණය වන බව යි. කැරකෙන බව යි. එසේ වුවත්, වැඩි දුර අධ්‍යයනය කරන විට පෙනී ගියේ එම විග්‍රහය මගින් ග්‍රහලෝකවල ගමන හොඳින් විග්‍රහ කළ නොහැකි බව යි. ග්‍රහලෝකවල ඇතැම් චලනයන් එමගින් තේරුම් කළ නොහැකි වී ය.

පෘථිවිය සහ ග්‍රහලෝක සුර්යයා වටා භ්‍රමණය වන බවට නව විග්‍රහයක් ඉදිරිපත් වන්නේ එම ප්‍රශ්න ගැන කළ අධ්‍යයනයේ ප්‍රතිඵල වශයෙනි. එය මගින් ග්‍රහලෝක චලනය පිළිබඳ වඩා හොඳ තේරුම් කිරීමක් කළ හැකි වී ය. පසුකාලීනව එම අදහස නිවැරදි බව පිළිගැනීමට හේතු වුයේ එමගින් විශ්වයේ චලනයන් වඩා හොඳින් තේරුම් ගත හැකි වූ නිසා ය.

ඇදහිලි සහ සත්‍යය

කෙසේ වෙතත්, එම විග්‍රහය සියලු දෙනා වහා ම පිළිගත්තේ නැත. දෙවියන් වහන්සේ විසින් ලෝකය මවන ලද්දේ ලෝකය විශ්වයේ මධ්‍යය වශයෙන් යැයි විශ්වාස කළ ආගමික ආධිපත්‍යයක් පැවති සමාජයට එම විග්‍රහය පෙනී ගියේ මිත්‍යාවක් වශයෙනි. ඇතැම් විට මෙය දෙවියන් වහන්සේට කළ නිගරුවක් ලෙස ද හෙළා දැකීමට ලක් වී ය. නිවැරදි වුවත්, නව අදහස් ඉදිරිපත් කිරීමට සිදුවන්නේ විවිධ ඇදහිලි මත විශ්වාසය තබන පිරිස්වල විරෝධය මධ්‍යයේ ය යන්න තේරුම් ගැනීම ද වැදගත් ය.

ගෝඨා ගෝ ගම ගැන ආධිපත්‍යධාරී මතවාදයන් ගැන සාකච්ඡාවක දී වුවත්, මෙබඳු විරෝධතා මතුවිය හැකි ය. එසේ වුව ද, එම මතවාද ප්‍රශ්න කිරීමට සිදුව ඇත්තේ එමගින් මෑත කාලීන දේශපාලන සිදුවීම් හොඳින් පැහැදිලි කළ නොහැකි නිසා ය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස හා පසුව ජනාධිපති ලෙස පත්වූ පසුව අරගල කළ ජනයා නැවත සටනට නොපැමිණියේ කුමන හේතුවක් නිසා ද යන්න අරගලය ගැන දැනට තිබෙන ප්‍රධාන මතවාද කිසිවක් මගින් පැහැදිලි කරන්නේ නැත. ජනතාව අපේක්ෂා කළ බව කියන “සිස්ටම් චේන්ජ්” නම් රනිල් වික්‍රමසිංහ බලයට පත්වීම බව අරගලයේ නායකයින් යැයි කියාගන්නා කිසිවකු පිළිගන්නේ නැත. රනිල් අරගලය පරාජය කළේ ගෝඨාභයට නොතිබූ කුමන බලයක් නිසා ද යන්න කියන්නට කිසිවකු ඉදිරිපත් වන්නේ නැත. ජනවරමක් නැතැයි නිගරු කළ නායකයකු අයෝමය හස්තයකින් රට පාලනය කරන්නේ කෙසේ ද කියා කිසිවකුට විග්‍රහයක් නැත.

රනිල් ඉදිරියට දමාගෙන රාජපක්ෂලා ආරක්ෂා වී වැජබෙන බව සමහරු කියති. රාජපක්ෂලාට සහ රනිල්ට එයට ඉඩ දී ජනතාව සටනින් ඉවත් වුයේ කුමක් නිසා ද යන්න ඔවුහු පැහැදිලි නොකරති.

තනි මන්ත්‍රී ධුරයකින් අගමැති වී වෙනත් පක්ෂවල සහයෙන් ජනාධිපති වූ රනිල් එම පක්ෂවල හිරකරුවෙක් වනු ඇතැයි සමහරු ප්‍රකාශ කළහ. නමුත් යථාර්ථය ලෙස පෙනී ගියේ රනිල් එම බලවේග දමනය කොට බලය තහවුරු කරගත් බවකි.

රනිල්ගේ බලය

මෙම කාලය තුළ ජනාධිපති රනිල් අමාරු තීරණ ගෙන ක්‍රියාත්මක කළේය. වියදම් පියවා ගත හැකි වන සේ ඉන්ධන සහ විදුලි ගාස්තු වැඩි කළේය. එය ජනප්‍රිය තීරණයක් නොවූ නමුත් විදුලි ගාස්තු සංශෝධනයට එරෙහිව ඇතැම් බලවත් පිරිස් ගෙනගිය විරෝධයට ජනතාවගේ ක්‍රියාකාරී සහයක් ලැබුණේ නැත.

බදු වැඩි කිරීම ද එබඳු ම ජනප්‍රිය නොවූ තීන්දුවකි. එයට එරහිව හඬ නැගූ ඇතැම් සංවිධන කීවේ සමස්ත රාජ්‍ය යන්ත්‍රය අඩපන කරන බවකි. රනිල් අඩියක් හෝ පස්සට ගියේ නැත. අරගල අසාර්ථක වී ය.

රාජ්‍ය ඒකාධිකාර ලෙස බලවත්ව තිබු කණිජ තෙල් සංස්ථාව සහ විදුලි බල මණ්ඩලය වැනි ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම ද තවත් බරපතළ පියවරකි. එයට එරෙහි වී රට ම අඳුරේ තබන්නට පාරම් බෑ උදවියට කිසිවක් කළ නොහැකි වුයේ ජනතා සහය පමණක් නොව එම ආයතනවල සේවක සහය පවා නොතිබූ  නිසා ය.

මෙම ලැයිස්තුව තවත් දිගු එකකි. එහි අලුත් ම සිදුවීම නම් දුම්රිය වැඩ වර්ජනයේ පරාජය යි.

අරගලයට පැමිණ ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයෙක් ගෙදර යැවූ ජනතාවක් මේ සිදුවීම්වල දී නිහඬ වී සිටින්නේ ඇයි යන ප්‍රශ්නයට අරගලය ගැන තිබෙන “සිස්ටම් චේන්ජ්” විග්‍රහයෙන් හෝ ජනතා අභිලාශ ලෙස ඉදිරිපත් කරන කරුණු අඩංගු විග්‍රහයකින් හෝ පිළිතුරු ලැබෙන්නේ නැත. අරගලයේ නායකයින් කියා ගන්නා උදවිය මෙතරම් අසරණ වී සිටින්නේ කුමන හේතුවක් නිසා ද යන්න ද එමගින් පැහැදිලි වන්නේ නැත.

මෙහි දී පළමුවෙන් ම තේරුම් ගත යුතු කරුණ නම් අරගලයට දායක වූ සහ එයට නායකත්වය දුන් බව කියන ඇතැම් කණ්ඩායම් සිතන පරිදි, ජනයා සටනට පැමිණියේ පවතින ධනවාදී ක්‍රමය පෙරළා දමා ඔවුන් සිතන සමාජවාදය බිහි කරන්නට නොවන බව යි. තමන් එතනට දක්කන්නට මෙම ව්‍යාපාර තැත්කරන බව තේරුම් ගත් ජනතාව කළේ ඔවුන්ට පස්ස හරවා ආපසු යෑම යි. මේ ඊනියා නායකයින් කෙතෙක් බලා සිටියත්, ජනතාව ඒ වැඩේට නම් ආපසු නොඑන බව සක් සුදක් සේ පැහැදිලි ය. මෙබඳු අරගලයකින් පසුවත් එයට නොඑන ජනයා වෙනත් අවස්ථාක එතැයි සිතන්නේ නම් එය ද මෝඩ කමක් බව දැන්වත් තේරුම් ගත යුතුව ඇත.

මෙම පාඩම තේරුම් ගන්නේ නම් ජනතාව එබඳු අරගලයකට කැඳවන්නට යැයි සිතා සමාජයට කරන හානි බොහොමයක් වළකාගත හැකි වනු ඇත.

අරගලය තුලින් යම් වෙනසක් අපේක්ෂා කළ බව පැහැදිලි ය. නමුත් එම වෙනස සහ ජනතාවගේ සැබෑ අපේක්ෂාව තේරුම් ගැනීමට අරගලය මතු වූ පසුබිම තේරුම් ගැනීම අවශ්‍ය වෙයි.

ජනතාවගේ සැබෑ අභිලාශ

go home gota protests

ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පත්කර ගත්තේ විශාල බලාපොරොත්තු ඇතිව ය. එම බලාපොරොත්තු බිඳ වැටීමට විශාල කාලයක් ගියේ නැත. ගෝඨාභය ජනාධිපතිවරයාට රාජ්‍ය පාලනය නියමාකාරයෙන් කළ නොහැකි බව ප්‍රදර්ශනය වන්නට වී ය. එම ක්‍රියාවලිය මෙහි දී සාකච්ඡා කිරීම එතරම් අවශ්‍ය නොවේ. මෙම බලාපොරොත්තු බිඳ වැටීම ප්‍රකාශයට පත්වන්නට පටන්ගත්තේ “ සර් ෆේල් “ යනුවෙන් සමාජ මාධ්‍යයේ පළ වූ පොස්ටු මගින් ය. එය සමාජයේ පිළිගත් අදහසක් බවට පත්වන්නට වැඩි කලක් ගියේ නැත.

ගෝඨාභය ජනාධිපතිවරයාට ආර්ථික දේශපාලන කටයුතු නිසි අයුරින් කළමනාකරණය කරගත නොහැකි වීමේ විපාක විඳින්නට ජනතාවට සිදු වී ය. ගොවීන්ට පොහොර නැති වීමෙන් ගොවිතැන් විනාශ වී ගොවි ජනයා තම දිවිපැවැත්ම පිළිබඳ ප්‍රශ්නයට ගොදුරු වී ය. අනෙක් අතින් සහල්, එළවළු ආදිය හිග වී මිල ඉහළ ගියේය.

විදේශ වලින් ආනයනය කරන භාණ්ඩ හිග වන්නට පටන් ගත්තේ ඒවාට ගෙවන්නට ඩොලර් නැතිව එම භාණ්ඩ කන්ටේනර් දහස් ගණනින් වරායේ සිරවීම හේතුවෙනි. එය වඩාත් බරපතළ ලෙස ප්‍රදර්ශනය වුයේ කිරිපිටි හිගය සහ කිරිපිටි පෝලිම් මගින් ය.

ඊළඟට බරපතළ තත්ත්වය වුයේ ඉන්ධන සහ ගෑස් හිගය ය. දින ගණන් පෝලිම්වල රස්තියාදු වන්නට ජනයාට සිදු වූ අතර පෝලිම්වල සිදු වූ මරණ ගැන ද වාර්තා වී ය.

තවත් බරපතළ ප්‍රශ්නයක් වුයේ දිනකට පැය 13 දක්වා දික් වූ විදුලිය කැපීම යි.

මේ සියල්ල මගින් රටේ ආර්ථිකය තවත්  බිඳ වැටුණු  අතර ජන ජීවිත පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් වර්ධනය වී ය.

ජනයාට තම තමන්ගේ ජීවනෝපාය පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් වර්ධනය වී ය.

මෙලෙස 2022 මාර්තු – අප්‍රේල් වන විට රටේ වර්ධනය වුයේ එක්තරා ආකාරයක අරාජික තත්ත්වයකි. ජනතාවට තම දිවි පැවැත්ම පිළිබඳ බරපතළ ප්‍රශ්න මතුවුයේ එම අරාජිකත්වය නිසා ය. ජනතාවගේ ක්ෂණික අවශ්‍යතාවය වුයේ තමන්ගේ ජීවිත පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය සාධක ඉක්මනින් සහ නිතිපතා ලැබෙන තත්ත්වයක් සහතික කිරීම යි.

ජනතාවට පෙනී ගියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලනය රටේ පැවති සාමාන්‍ය තත්ත්වය පවත්වාගෙන යාමට අපොහොසත් වී ඇති බව යි. අදක්ෂ බව යි.

“ගෝඨා ගෝ” තේරුම් ගැනීම

go home gota protests

ජනතාවගේ මෙම හැගීම ඉතා හොඳින් ප්‍රකාශ කරන්නට අරගලයේ කැඳවුම්කරුවන් නිර්මාණය කළ සටන්පාඨය “ගෝඨා ගෝ” යන්න යි. ජනතාව අරගලයට සහය දුන්නේ එම සටන්පාඨය යටතේ ය.

“ගෝඨා ගෝ” කියා ජනතාව කීවේ ගෝඨාභය රාජපක්ෂ නම් පුද්ගලයාට නැතහොත් දේශපාලඥයාට ඇති විරෝධයක් නිසා නොවේ. රටේ පාලනය සහ ජන ජීවිතය යහපත් ලෙස පවත්වාගෙන යාමට ගෝඨාභය ජනාධිපතිවරයා අසමත් වූ නිසා ය. අදක්ෂ වූ නිසා ය.

ජනතාවට සැබෑ විරෝධය තිබුණේ ගෝඨාභය ජනාධිපති කෙරෙහි නොව ඔහු විසින් නිර්මානය කළ නැතිනම් ඔහු නිසා නිර්මානය වූ අරාජිකත්වයට එරෙහිව ය. ජන ජීවිත නැවත යථාවත් වන්නේ එම ආරජිකත්වය පරාජය කළ විට ය. එසේ වීමට ගෝඨාභය යා යුතු ය. “ගෝඨා ගෝ” කියා ජනතාව කීවේ එම කතාව යි.

ගෝඨාභය ජනාධිපතිගේ පාලනය පිළිබඳ කලකිරීමට සහ  ඉන් පීඩාවට පත් වූ සාමාන්‍ය ජනයා විපක්ෂයේ ආණ්ඩු විරෝධී ක්‍රියාමාර්ගවලට සහභාගී වුයේ නැත. සමගි ජන බලවේගය මහනුවර සිට කොළඹට පා ගමනක් මෙහෙයවන ලද්දේ මාර්තු මස අවසානයේ දී ය. එයට සැලකිය යුතු ජන සහභාගීත්වයක් තිබු නමුත් ගෝඨා ගෝ අරගලයට පැමිණ සහය දැක්වූ ජනයා එයට සහභාගී වූ බවක් දක්නට ලැබුණේ නැත. ජාතික ජන බලවේගය ද දිවයින පුරා උද්ඝෝෂන සංවිධනය කළ ද පෙර කී සාමාන්‍ය ජනයා එයට ද සහභාගී නොවී ය. පෙරටුගාමීන් වැනි අනෙක් බලවේග සම්බන්ධයෙන් ද තත්ත්වය ඒ හා සමාන ය.

සාමාන්‍ය ජනයාට මොවුන් පෙනී ගියේ පවතින ආරජිකත්වයෙන් තමන් ලක්වන පීඩාවට විසඳුම් දෙන පිරිසක් වශයෙන් නොවේ. අරාජිකත්වය තුලින් තම දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාවට නගන්නට කැස කවන පිරිස් වශයෙනි.

ප්‍රශ්නයේ කොටසක් වූ විපක්ෂ බලවේග

go home gota protests

සාමාන්‍ය ජනයාට පෙනී ගිය ආකාරයට විපක්ෂ බලවේග යනු ප්‍රශ්නයට විසඳුම් නොව ප්‍රශ්නයේ ම කොටසකි. “ ගෝඨා ගෝ ගම “ පැත්ත පළාතේ එන්න එපා යැයි එම අරගලය ආරම්භයේ දී ම මේ සියලු පක්ෂ සංවිධානවලට තහංචි පනවන්නට එහි සංවිධායකයින්ට සිදුවන්නේ ඒ නිසා ය. සාමාන්‍ය ජනයා සටනට සහය දෙන්නේ එම කොන්දේසි ඉටුවීමත් සමග ය.

මෙය ඉතා හොඳින් පෙනී ගියේ මැයි 9 දා “ ගෝඨා ගෝ ගම “ අරගලකරුවන්ට ප්‍රහාරය එල්ල වීමෙන් පසු එහි ගිය විපක්ෂ නායක ඇතුළු පිරිසටත්, අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසටත් පහර දී එලවා දැමීමේ සිදුවීමෙනි. එය කළේ කවුරුන් වුව ද ඒ කිසිවක් කල්තියා කළ සැලසුම් නොවේ. ඒවා මගින් පෙන්නුම් කළේ අරගල භුමියේ පැවති මානසිකත්වය යි. එය සාමාන්‍ය ජන මානසිකත්වයේ පිළිබිඹුවක් ලෙස සැලකීමේ වරදක් නැත.

එබැවින් “ගෝඨා ගෝ ගම” ජනතා අරගලය එක් අතෙකින් තේරුම් ගත යුතු වන්නේ එය හුදෙක් එක් පුද්ගලයකුට හෝ ආණ්ඩුවට හෝ එරෙහි කැරැල්ලක් නොව මෙරට දේශපාලන සමාජය ලෙස හැඳින්විය හැකි සියලු පක්ෂ, දේශපාලන කණ්ඩායම් සහ ක්‍රියාකාරීන්ට එරෙහිව නැගුනු කැරැල්ලක් වශයෙනි.

“ගෝඨා ගෝ ගම” ලෙස ගාලු මෝදර පිටියේ මුලින් වාඩි ලා ගත්තේ එහි කැඳවුම් කරුවන් ලෙස හැඳින්විය හැකි පිරිසකි. ඔවුන් පැමිණියේ පෙර කී දේශපාලන සමාජයට පිටතින් ය. කෙසේ වෙතත්, අරගලය ආරම්භ වූ පසු එම ස්ථානයට තවත් බොහෝ පිරිස් එක් වූ බව පෙනෙන්නට තිබිණි. මුල දී එහි වැද්ද නොගත් පිරිස් ද පසුව එහි ක්‍රියාකාරීන් සහ ප්‍රකාශකයින් බවට පත්ව සිටියහ. ඔවුන්ගේ අරමුණ වුයේ තමන් නිවැරදි යැයි සිතන දිසාවට ආරගලය රැගෙන යාම යි. පසුකාලයේ අරගල භූමියෙන් අපට අසන්නට, දකින්නට ලැබෙන්නේ මෙම කණ්ඩායම්වල වුවමනාවන් පිළිබඳ ප්‍රකාශන යි.

ගාලු මෝදර පිටියේ වාඩි ලාගත් පිරිස අරගලයේ යම් මෙහෙයුම් කාර්යභාරයක් කළ ද , අරගලයට සම්බන්ධ වූ සාමාන්‍ය ජනයා සහ ඔවුන් අතර සංවිධානාත්මක සම්බන්ධතාවයක් වර්ධනය කර ගැනීමට ඔවුහු අපොහොසත් වුහ. බොහෝ විට හොඳ හඳුනාගැනීමක් පවා සිදුවුයේ නැත. එබැවින් සාමාන්‍ය ජනයාගේ සැබෑ අපේක්ෂා මෙම කණ්ඩායමෙන් ප්‍රකාශ නොවූ බව දැන් පෙනීයන කාරණයකි. එය වඩාත් තහවුරු වන්නේ අරගලයෙන් පසු එම ජනයාගේ සහයෝගය රඳවා ගැනීමට කිසිදු කණ්ඩායමකට නොහැකි වීම මගින් ය.

මේ අතර “ගෝඨා ගෝ ගම” අරගලයෙන් මුලින් පිටස්තරයින් වූ විපක්ෂයේ පක්ෂ ද අරගලය තමන්ගේ අරමුණු වෙත රැගෙන යාමට ක්‍රියාත්මක වී ය. මැයි 9 දා රාත්‍රියේ රටපුරා ආණ්ඩුවේ දේශපාලඥයින්ගේ නිවාස ගිනිබත් කිරීම එබඳු කණ්ඩායමක සැලසුමක් බව පැහැදිලි කරුණකි.

ජුලි 9 දා අරගලයට ගෝඨා ගෝ සටන්පාටය යටතේ පැමිණි සාමාන්‍ය ජනයා මෙන් ම තම තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වූ දේශපාලන කණ්ඩායම් ද සහභාගී වූ බව දක්නට ලැබිණි. එහි කැපී පෙනෙන සිදුවීම් වන්නේ දේශපාලන සමාජයේ යැයි හැඳින්විය නොහැකි පිරිසක් ජනාධිපති මන්දිරයට ඇතුළු වී එය අත්පත් කරගැනීම සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙස දේශපාලන සමාජයේ පිරිසකගේ මෙහෙයවීමෙන් ගිනි තැබීමත් ය.

විකල්ප බලයක් සඳහා සැලසුම්

ජූලි 13 විරෝධතාවය

මුල දී අරගලයේ නොසිටි ජනතා විමුක්ති පෙරමුණ ජුලි 13 දා සංවිධානාත්මක මෙහෙයුමක් ක්‍රියාමක කළ බව පැහැදිලි කරුණකි. ඔවුන්ගේ ඉලක්කය වුයේ පාර්ලිමේන්තුව අල්ලාගෙන රට අරාජික කර විකල්ප බලයක් ගොඩ නැගීමට උත්සහ දැරීම යි. එයට සාමාන්‍ය ජනයාගේ සහභාගීත්වය අවම වූ අතර ගෝඨා ගෝ ගම මෙහෙයුමේ සිටි ඇතැම් නායකයින් ද එයට ඍජු ලෙස විරුද්ධ වුහ. දැන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් චෝදනා කරන්නේ ගෝඨා ගෝ ගම නායකයින් අරගලය පාවා දුන් බවට ය.

කෙසේ වෙතත්, අප තේරුම් ගත යුතු වන්නේ මෙහි දී ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාමාර්ග සැබෑ  ජනතා අභිලාශය නියෝජනය නොකළ බව යි. ඔවුන් එය සැලසුම් කළේ ජනතාව ගැන ඔවුන් සිතා සිටින ආකාරය අනුව ය. ඔවුන් සිතා සිටින ජනතාව නම් මෙම ක්‍රමය පෙරළා දමා නව ක්‍රමයක් ගොඩ නගන්නට සටන් කරන පිරිසකි. ඔවුන් තවමත් නොදන්නේ එබඳු ජනතාවක් මේ යුගයේ ඇත්ත ලෝකයේ නැති බව යි. එබැවින් ඔවුන් කැඳවන සටන්වලට මේ සිටින ජනතාව එන්නේ නැත. අරගලයෙන් සහ එය අවසන් වූ ආකාරයෙන් පෙනී යන්නේ එම කාරණය යි. එයට වෙන කාට හෝ බැන වැදීමේ තේරුමක් නැත.

අරගලය ආරම්භ වූ පසු එයින් තමන් කැමති ප්‍රතිඵලය ලබා ගැනීමට බොහෝ කණ්ඩායම් ක්‍රියාත්මක වුහ. ඇතැම් උත්සාහයන් සිදුවුයේ යහපත් අරමුණු ඇතිව ය. තවත් ඇතැම් උත්සාහයන් දැරුනේ තමන්ගේ බල දේශපාලන අරමුණු සපුරා ගැනීම සඳහා ය. ඔවුන් විසදුම ලෙස දුටුවේ අවසානයේ තමන් දේශපාලන බලය අත්පත් කර ගැනීම යි.

ප්‍රධාන විපක්ෂයට අවශ්‍ය වුයේ අරාජිකත්වය දික්ගස්වා මැතිවරණයක් ලබාගෙන සම්පුර්ණ බලයක් අත්පත් කර ගැනීම යි. අගමැති ධුරය පමණක් නොව ජනාධිපති ධුරය ද ඉල්ලා සිටියේ එයට පාර කපා ගැනීමට ය.

ඒ අතර තවත් පිරිසක් පෙනී සිටියේ කාටත් පිළිගත හැකි සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නගා ගැනීම සඳහා ය. විපක්ෂයේ ප්‍රධාන පක්ෂ එයට එකඟ වුයේ නැත. එහි වගකීම් ගන්නට කිසිවෙකු ඉදිරිපත් නොවූ අතර වෙනත් අයට වගකීම් ගෙන එය ක්‍රියාත්මක කිරීමට ද ඉඩ දුන්නේ නැත.

කෙසේ වෙතත්, මෙම උත්සාහයන් අසාර්ථක වුයේ ඒ කිසිවක් නිසා නොවන බව පෙනෙන්නට තිබේ. ඒ සියල්ලහි එක් පොදු දුර්වලතාවයක් තිබිණි. එනම් අරගලයට පැමිණි ජනයාගේ සැබෑ අභිලාශය හඳුනා නොගැනීමත් එයට ආමන්ත්‍රණය නොකිරීමත් ය.

ජනතාව සටනට පැමිණියේ රටේ පැවති අරාජිකත්වය පරාජය කිරීමට ය. විවිධ කණ්ඩායම් ඉදිරිපත් කළ විකල්ප ක්‍රියාමාර්ග සියල්ලෙහි තිබුණේ ආරජිකත්වය දික්ගසන ආකාරයේ සැලසුම් ය. එබැවින් ඒ සියල්ල පැවතියේ ජනතාවගේ සැබෑ අභිලාෂයන්ට ප්‍රතිවිරුද්ධ තත්ත්වයක ය. ඒ කිසිවකට ජනතා සහය නොලැබීමට හේතුව මෙලෙස එම ක්‍රියාමාර්ග ජනතා අභිලාෂයට පටහැනි හා ප්‍රතිවිරුද්ධ වීම යි.

වරද්දාගත් විකල්ප

go home gota protests

“ගෝඨා ගෝ” යන්න ප්‍රධාන විපක්ෂය ගත්තේ එහි වචනාර්තයෙනි. ඔවුන් ඉල්ලා සිටියේ “ගෝඨා ගෝ’ කියා පමණකි. එවිට සම්පුර්ණ බලය ලබාගැනීමට හැකි යැයි ඔවුන් සිතුවා විය හැකි ය. එසේත් නැත්නම් ඔවුන් එය ඉදිරිපත් කළේ මගහැර යාමේ මාවතක් ලෙස විය හැකි ය.

ඒ මොහොතේ විපක්ෂයේ ඇතැම් නායකයින්ගේ අදහස වුයේ ඒ මොහොතේ පැවති අර්බුදයට මුහුණ දීමේ වගකීම භාරගැනීම දේශපාලන වශයෙන් විනාශයට හේතුවක් වන බව යි. එබැවින් වෙනත් අයට විනාශ වන්නට ඉඩ හැර පැත්තකට වී ආරක්ෂා වීමේ ආකල්පයක් ඔවුන් තුළ තිබු බව පෙනෙන්නට තිබිණි.

රටේ පැවති දේශපාලන, ආර්ථික අරාජිකත්වය නිසා ජනතාව තම ජීවනෝපාය සම්බන්ධයෙන් මුහුණ දී සිටි පීඩා සම්බන්ධයෙන් ඉක්මන් විසඳුමක සේයාවක් හෝ විපක්ෂයේ කිසිදු කණ්ඩායමකින් ජනතාවට දක්නට ලැබුණේ නැත.

සිවිල් සමාජයෙන් ඉදිරිපත් වූ විකල්ප යෝජනා සම්බන්ධයෙන් ද මෙම තත්ත්වයේ වෙනසක් දකින්නට ලැබුණේ නැත. ඔවුන් ජනතා අභිලාශ ලෙස සැලකුවේ “ගෝඨා ගෝ ගම” සිටි කණ්ඩායම්වලින් නිකුත් වූ ප්‍රකාශන මගින් ඉදිරිපත් කළ අදහස් ය. එම ඇතැම් අදහස් සිවිල් සමාජය මගින් ද ඉදිරිපත් කළ අදහස් වෙයි. එම විකල්ප යෝජනා ඉදිරිපත් වුයේ කාටත් පිළිගත හැකි දේශපාලන බලයක් ගොඩ නැගීම සඳහා ය. ඒවා බොහෝ විට එකවර ක්‍රියාත්මක කළ නොහැකි බව පෙනී ගියේ ය. එමෙන් ම එම විකල්ප ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ද නිශ්චිත බවක් නොතිබිණි. එබැවින් එම ක්‍රියාමාර්ග ද පැවතියේ අරාජික තත්ත්වය තවත් දික් ගස්සන මාවත් වශයෙනි.

ජනතාව මුහුණ දී සිටි පීඩාවට ඉක්මන් විසඳුම් නොලැබෙන සහ ජනතා අභිලාෂයන්ට පටහැනි මෙකී විකල්ප කිසිවකට ජනතා සහය නොලැබීම ගැන පුදුම විය යුතු නැත.

‘රැවුල ගිනිගෙන සිටිය දී සුරුට්ටුව පත්තු කරගන්න හදනවා ‘ කියා කතාවක් ජන වහරේ ඇත. අරගලයට පැමිණි සාමාන්‍ය ජනයාට මෙරට විපක්ෂයේ හැසිරීම ද පෙනෙන්නට ඇත්තේ ඒ ආකාරයට ය. ජනතාව ඔවුන් සිටින පැත්ත පළාත නොබලා යන්න ගියේ ඒ නිසා ය.

මේ ගැන නිසි අවබෝධයක් නැති ඇතැම් නායකයෝ ජනතාව කොයි මොහොතක හෝ යළි පැමිණෙතැයි තවමත් බලා සිටිති. ඒ සඳහා නොයෙකුත් දේ කරති. ඔවුන්ගේ තත්ත්වය ගැන කනගටුවනවා හැර වෙන කරන්නට දෙයක් නැත.

ජනවරම නැති රනිල්ගේ වරම

මෙහි දී ජනතාවට අවශ්‍ය සහතිකය ලැබුණේ රනිල් වික්‍රමසිංහ මහතාගෙනි. ඔහු කීවේ “ මට මෙය කළ හැකියි. හැමෝම උදව් කරන්න “ යනුවෙනි. දෙවැනි ව ඔහු එය ක්‍රියාවෙන් පෙන්නුම් කළේය.

රනිල් සහ ඔහු මෙහෙය වූ ආණ්ඩුවෙන් ජනතාවට පීඩාකාරී වූ බොහෝ තීන්දු තීරණ ගත්ත ද, එම තීරණ මගින් අරගලය පැමිණීමට හේතු වූ ප්‍රධාන ප්‍රශ්නයට විසඳුම් ලැබිණි. එනම් අරාජිකත්වය අවසන් කිරීම යි. තම ජීවනෝපාය කරගත නොහැකි ව අසරණ වී සිටි ජනයාට දැන් අමාරුවෙන් නමුත් ජීවත්විය හැකි තත්ත්වයක් නිර්මාණය වී ය. මෑත කාලය වන විට පෙනී ගියේ ජනතාවගේ පීඩාව ද ටිකෙන් ටික අවසන් වෙමින් පවතින බව යි.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ජනප්‍රිය නොවන තීන්දුවලට එරෙහිව අරගල කරන්නට ජනතාව පෙළ ගස්වන්නට විපක්ෂ කණ්ඩායම් උත්සහ දැරීම දිගට ම දකින්නට ලැබුණු කාරණයකි. නමුත් ඒවාට ජනතා සහාය නොලැබුණා පමණක් නොවේ. ජනතාවගෙන් ඒවාට එල්ල වුයේ විරෝධයකි. ඒ බව තේරුම්ගත් සංවිධායකයින්ට සිදුවුයේ පසු බසින්නට ය.

ඒ එකිනෙක ගැන කතා කිරීමේ තේරුමක් නැත. නමුත් තේරුම් ගත යුත්තේ මේ බලය ලැබෙන්නේ ජනතා පිළිගැනීම නිසා බව යි. පිළිගැනීම යැයි මෙහි කියන්නේ කැමැත්ත හෝ අනුමත කිරීම හෝ ගැන නොවේ. එම තීරණ ගෙන ක්‍රියා කිරීමට පාලකයාට ඇති අයිතිය පිළිගැනීම යි.

මෙය තේරුම් ගැනීමට නුතන මාක්ස්වාදීන් ගුරු කොට ගන්නා චින්තකයකු වන ඉතාලියානු කොමියුනිස්ට් පක්ෂයේ නායකයා ව සිටි අන්තෝනියෝ ග්‍රාම්ස්චි ඉදිරිපත් කළ අදහසක් යොදා ගත හැකි ය. ඔහු කීවේ පාලනයක් ගෙන යාමට පාලකයන්ට මර්දන බලය පමණක් ප්‍රමාණවත් නැති බව යි. ඒ සඳහා  ජනතාව මත මතවාදී ආධිපත්‍යයක් ( Hegamony – හෙජමොනියක් ) පවත්වා ගැනීමට සිදුවන බව යි.

මෙම ආධිපත්‍යය නොයෙකුත් ආකාරයෙන් පැවතිය හැකි ය. අතීත බටහිර සමාජයන් හි රජු සැලකුවේ දෙවියන්ගේ නියෝජිතයා වශයෙනි. ශ්‍රී ලංකාවේ නම් රාජ වංශිකයකු වීම, රාජ්‍ය උරුමය සහ දන්ත දාතුන් වහන්සේගේ ආරක්ෂාව භාරවීම ආදී කරුණු රජෙකුගේ ආධිපත්‍යය පිළිගැනීමට හේතු වී ය.

ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ආධිපත්‍ය තීරණය වන්නේ ජන වරම මගින් ය. යම් තැනැත්තකු හෝ පක්ෂයක් හෝ ජන වරමක් ලබාගත් විට ඔවුන්ට පාලනයේ අයිතිය ඇතැයි පිළිගැනීම සාමාන්‍ය තත්ත්වය යි. නමුත් හැම විට ම එය එසේ නොවන බව පෙනෙන්නට තිබේ. ඇතැම් විට ජනවරම ඇතත් වෙනත් කරුණු නිසා  මතවාදී ආධිපත්‍ය අහිමි විය හැකි ය. තවත් විටෙක ජනවරම නැතත්, වෙනත් හේතු මත පාලකයකුට පාලනය ගෙනයාමට අවශ්‍ය මතවාදී ආධිපත්‍යය ගොඩ නගා ගත හැකි ය.

රනිල් වික්‍රමසිංහ මහතාට ජන වරමක් නැතැයි විවේචනයක් ඇත. එය විවාදාත්මක ය. කෙසේ වෙතත්, ජනාධිපති ලෙස ඔහුගේ පත්වීම ව්‍යවස්ථානුකූල බවට පිළිගැනීමක් ඇත. ඔහුට පාලනය සඳහා වන මතවාදී ආධිපත්‍යය ලැබීමට මුලික හේතුව එය යි.

මෙම කරුණ තේරුම් ගැනීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සිදු වූ දෙය විමසා බැලීම සුදුසු ය. විශාල ජන වරමකින් බලයට පත් ඔහුගේ ජනවරම අහෝසි වුයේ නැත. තාක්ෂණික වශයෙන් ගත් කළ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වී සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ ලබාගත් ජනවරමේ ඉතිරි කොටස සඳහා ය.

එසේ වුව ද අරගලය මගින් සිදුවුයේ රට පාලනය කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති අයිතිය ප්‍රතික්ෂේප කරන බව ජනතාව ප්‍රකාශ කිරීම යි. ගෝඨා ගෝ කියා ජනතාව කීවේ එම කතාව යි. එහි තේරුම ජන වරම තිබුණත් ආධිපත්‍යය ගිලිහී ගිය බව යි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ගිලිහී ගිය ආධිපත්‍යය ලැබුණේ රනිල් වික්‍රමසිංහ මහතාට ය. එසේ වීමට වික්‍රමසිංහ මහතාගේ පත්වීමේ ව්‍යවස්ථානුකූල භාවය පමණක් නොව තමන් පීඩා විඳි අරාජිකත්වයේ පීඩාව අවසන් කිරීමේ ජනතා අභිලාශය ඉටුවීම ද හේතු වූ බව පෙනෙන්නට තිබේ.

“ගෝඨා ගෝ” අරගලයේ පාඩම්

go home gota protests

“ගෝඨා ගෝ” අරගලයේ ප්‍රධාන පාඩම් දෙකක් තේරුම් ගත යුතුව ඇත. ඉන් පළමුවැන්න නම් මෙරට දේශපාලන සමාජය සහ සාමාන්‍ය ජන සමාජය අතර විශාල බෙදීමක් ඇති බව යි.

දේශපාලන සමාජය ලෙස හඳුනාගත හැක්කේ ආණ්ඩුවේ සහ විපක්ෂයේ සියලු පක්ෂ සහ ඒවාට සම්බන්ධ පිරිස් ය. ජනමාධ්‍ය ද එයට විශාල ලෙස සම්බන්ධ බව පෙන්නේන්නට තිබේ. සිවිල් සමාජයේ කොටස් ද එයට ඇතුළත් ය.

“ගෝඨා ගෝ” අරගලයට ජනතාව පැමිණියේ නිර්පාක්ෂික අරගලයක් යන සහතිකය යටතේ ය. එයින් ඔවුන් කීවේ දේශපාලන සමාජයේ කිසිදු පාර්ශවයක අවශ්‍යතා වෙනුවෙන් පාවිච්චි වීමට තමන් සුදානම් නැති බව යි.

මෙරට ක්‍රියාත්මක වූ දේශපාලන සමාජයේ කිසිදු පාර්ශවයකට “ගෝඨා ගෝ” අරගලය නියෝජනය කළ නොහැකි විය. මහජනයාගේ නායකත්වය දිනා ගැනීමට හෝ අරගලයට පැමිණි ජනයා මෙහෙයවා ගැනීමට හෝ ඔවුන් අපොහොසත් වී ය. ජනයා සමග ඓන්ද්‍රීය සම්බන්ධයක් හෝ ගොඩ නැගුනේ නැත.

අරගලයෙන් පසු ජනයා ආපසු ගියේ දේශපාලන සමාජයේ කිසිදු කණ්ඩායමක් සමග සබඳතා පවත්වා ගැනීමකින් තොරව ය. දේශපාලන සමාජයේ කණ්ඩායම් කැඳවූ කිසිදු සටනකට ඔවුන් දායක වුයේ නැත.

දැන් එම ජනයා සිටින්නේ නිශ්ශබ්ද පිරිසක් වශයෙනි.

දේශපාලන සමාජයේ කණ්ඩායම් මේ කතාව නොපිළිගනු ඇත. එසේ වුවත්, සත්‍ය තත්ත්වය එය යි.

දේශපාලන සමාජය සහ සාමාන්‍ය ජන සමාජය අතර පවතින මෙම බෙදීම තේරුම් ගැනීම ඕනෑම දේශපාලන ක්‍රියාකාරීත්වයක් සඳහා වැදගත් වෙයි.

“ගෝඨා ගෝ” අරගලයෙන් තේරුම් ගත යුතු අනෙක් කාරණය නම් සාමාන්‍ය ජනයාගේ සැබෑ අභිලාෂයන් සහ හැසිරීම් තේරුම් ගැනීමේ වැදගත්කම යි.

ඇතැම් දේශපාලඥයින්ගේ සහ ක්‍රියාකාරීන්ගේ ඔලු තුළ සිටින ජනයා සැබෑ ලෝකයේ නැති බව තේරුම් ගත යුතු වෙයි. ජනතාව ගැන තමන්ගේ ඔළුවල ඇති ප්‍රතිරුප මත පදනම් වී ජනතා සටන් මෙහෙයවන්නට යෑම කිසි දා සාර්ථක නොවනු ඇත.

ජනතාව සිටින්නේ ඔවුන්ගේ ජීවන සටනේ ය. ඔවුන් දේශපාලන වශයෙන් ක්‍රියාත්මක වන්නේ හෝ ප්‍රතිචාර දක්වන්නේ හෝ තමන්ගේ ජීවන අරගලයට ඇති බලපෑම අනුව ය. එම ප්‍රශ්න අපට පෙනෙන පැත්තෙන් නොව ඔවුන්ට දැනෙන ආකාරයෙන් තේරුම් ගත යුතුව ඇත.

පැහැදිලිව ම එය සංකීර්ණ ව්‍යායාමයකි. එසේ වුවත් එම සංකීර්ණ උත්සාහයේ නොයෙදී සාර්ථක දේශපාලන හෝ සමාජ ව්‍යාපාරයක් ගොඩනැගිය නොහැකි ය.

සී ජේ අමරතුංග
සී ජේ අමරතුංග

 

 

Social Sharing
අවකාශය නවතම විශේෂාංග