විදුලි බිල අඩුවීම ආර්ථිකයට නව ගැම්මක් – මහාචාර්ය සේමසිංහ වන්නිනායක

විදුලි බිල ජනතාවට දැනෙන අයුරින් පහත හෙළා ඇත. ඊයේ 16දා සිට විදුලි බිල 22.5 %කින් පහත දමන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය. මේ ගාස්තු අඩුවීම දේශීය නිෂ්පාදන හා ආර්ථික අංශ කෙරෙහි කෙසේ බලපාන්නේද? ගෘහස්ථ ආර්ථික තත්ත්වයන් සුරක්ෂිත කිරීමට අවස්ථාවක් වන අයුරු ඇතුළු කරුණු කාරණා යනාදිය සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය සේමසිංහ වන්නිනායක මහතා සමඟ සිදු කළ සංවාදයකි මේ.

 

විදුලිය බිල පහළ යාමේ වාසිය මෙරට ආර්ථිකය නැවත පණගැන්වීම සඳහා බලපානු ලබන්නේ කුමන ආකාරයට ද?

විදුලි බිල පසුගිය කාලයේදී ඉතාමත් ඉහළ අගයකයි තිබුණේ. ඒ තත්ත්වය තුළ සාමාන්‍ය ජනතාව වගේම ව්‍යාපාරික ප්‍රජාවද දැඩි අපහසුතාවට පත්ව සිටියා. එහෙත්, දැන් විදුලිය බිල අඩුවීම තුළ මෙරට ව්‍යපාරික අංශවල නව පිබිදීමක් ඇතිවීම ආර්ථිකයට නව පණක් ලැබෙන අවස්ථාවක් විදිහට සඳහන් කිරීමේ වරදක් නැහැ. පසුගිය කාලයේදී විදුලිය මිල ඉහළ යාම නිසා සාමාන්‍ය ව්‍යාපාර බිඳ වැටුණා. මධ්‍ය පරිමාණ ව්‍යාපාර අමාරුවෙන් අල්ලාගෙන සිටියා. මහා පරිමාණ ව්‍යාපාර පවා ඉතාමත් අමරුවෙන් තමයි තම ව්‍යාපාර කටයුතු කරගෙන ගියේ. එහෙත් විදුලිය බිල පහළ යාම නිසා ව්‍යාපාර කටයුතුවලට නව ප්‍රවේශයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

ගෘහස්ථ විදුලිය බිල පහළ යාම තුළ ගෘහ ආර්ථිකයට ද හොඳ ශක්තියක් ලැබෙනවා. ඒ නිසා විදුලිය බිල පහළ යාම නිසා මෙරට ව්‍යාපාරික ප්‍රජවට මෙන්ම ගෘහ ආර්ථිකයටද ලොකු ශක්තියක් ලැබීම නව ප්‍රවේශයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්.

අප හොඳින් දන්නා කරුණක් තමයි, පසුගිය කාලයේදී වැය සහ ආදායම එක මට්ටමක තිබූ, අමාරුවෙන් පවත්වාගෙන ගිය ව්‍යාපාරික ආයතන වැසීයාම. මේ ආයතන වැසී යාම නිසා රැකියා සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි වී ගියා. අපේ ආර්ථිකයට එයින් ලොකු බලපෑමක් සිදු වුණා. ඒ ආර්ථික බලපෑම නිසා අපේ රටට ලොකු ආර්ථික බලපෑමක් සිදු වුණා. දැන් විදුලිය බිල දැනෙන ලෙස අඩුවීම තුළ නැවතත් කාලයක් හැකිළී ගිය ආර්ථිකය සහ ඇද වැටෙමින් අමාරුවෙන් ඉදිරියට ගමන් කළ ව්‍යාපාරික ආයතන ස්ථාවර තැනකට පත්වීමට හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා. දැන් විවෘත වූ නව අවස්ථාව අනුව ඉදිරියට ගමන් කිරීමට හොඳ ඉඩක් ලැබී තිබෙනවා.

 

මේ ගාස්තු අඩුවීම දේශීය නිෂ්පාදන සහ ආර්ථික අංශය ශක්තිමත් වීමට ලබා දෙන සහාය මොන වගේද?

ඇත්තෙන්ම ආර්ථික අර්බුදය නිමා කර ගැනීමට නම් දේශීය නිෂ්පාදන නැවතත් ශක්තිමක් කර ගන්න ඕනෑ ඒ සඳහා හොඳ අවස්ථාවක් ව්‍යාපාරික ප්‍රජාව වෙත ලැබී තිබෙනවා. විදුලි ගාස්තු පහළ යාමත් සමඟ දැන් තිබෙන ගාස්තු අනුව විදුලි බල මණ්ඩලයට ද අලාභයක් නොවී පාරිභෝගික ප්‍රජාව වෙත සහනයක් ලබාදෙමින් කටයුතු කිරීමට හැකියාව ලැබී තිබීම හොඳ ප්‍රවේශයක් විදිහට පෙන්වා දීමට පුළුවන්.

 

මේ ගාස්තු අඩු වීම ගෘහස්ථ ජීවන තත්ත්වය සුරක්ෂිත වීමට බලපාන්නේ කෙසේද?

ගෘහ ආර්ථිකයට මෙයින් යම් සහනයක් ලැබෙනවා. සාමාන්‍ය විදිහට ගෙන බැලුවත්, මාසිකව රුපියල් දහසේ සිට ඉහළට මුදල් ඉතිරියක් මෙයින් ලබා ගන්න පුළුවන්. ඒ වාසිය සෑම පවුලකටම ලැබෙන හොඳ අවස්ථාවක් විදිහට සඳහන් කළ හැකියි.

 

පාතාල ප්‍රචණ්ඩත්වය ඉහළ යාම අපේ ආර්ථිකයට සහ සංචාරක කර්මාන්තයට බලපාන්නේ කුමන ආකාරයකටදැයි ඔබ විශ්වාස කරන්නේද?

ඇත්තෙන්ම පාතාල ක්‍රියාකාරකම් නිසා සංචාරකයෝ මෙරටට පැමිණීමට බියක් ඇතිකර ගන්න පුළුවන්. ආයෝජකයෝ මෙරට තුළ ආයෝජනය කිරීමට බිය වන්න පුළුවන්. ඒ නිසා මේ ක්‍රියාකාරකම් පාලනය කිරීම ඉක්මනින් කළ යුතුයි. මෙතෙක් කල් පාතාල සිදුවීම් සිදුවුණ ද ඒවා ප්‍රධාන කරුණු විදිහට පෙනුණේ නැහැ. එහෙත් පසුගිය සතියේ සිදුවීම තුළ විශාල වශයෙන් නැවතත් මේ තත්ත්වය කැපී පෙනෙන්න පටන් ගත්තා. ඒ නිසා පාතාල ක්‍රියාකාරකම්, අභ්‍යන්තර ගැටුම් පාලනය කර සිවිල් සාමය ඇති කිරීම මඟින් අපේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් කටයුතු කළ යුතුයි.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සංශෝධනය කිරීමට හෝ ද්විපාර්ශ්වීය ණය ගෙවීමේ කාලය තවදුරටත් කල් දමා ගැනීමට ඉදිරියේ පත්වන ඕනෑම ආණ්ඩුවකට හෝ හැකියාව තිබෙන්නේද ?

ඒ සඳහා ඇති ඉඩකඩ ඉතා අඩුයි. IMF ප්‍රධානී පීටර් බෲවර් වරක් සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බවයි. ඒත් IMF එකඟතා ගොඩනඟලා තියෙන්නේ, ආර්ථික අර්බුදයේ මූලයන් සහ ආර්ථිකයේ ව්‍යුහාත්මක දුර්වලතා පදනම් කරගෙනයි. ඒ නිසා ඒවා විශාල වශයෙන් සංශෝධනය කළ හැකි යැයි මා හිතන්නේ නෑ. අලුතින් පත්වන ආණ්ඩුවක් වුව ද මේ කොන්දේසිවලට එකඟ නොවෙනවා නම්, ගිවිසුමෙන් ඉවත් වෙන්න පුළුවන්. එහෙම කිරීම මෙයට පෙර අවස්ථාවල සිදු කළ තරම් පහසු නෑ.

 

IMF කියන රාජ්‍ය වියදම් අඩුකර ගැනීමට සහ අල්ලස දූෂණය අඩු කර ගැනීමට රජය අරන් තියෙන පියවර ගැන සෑහීමකට පත්විය හැකිද?

කිසිසේත්ම නැහැ. IMF එක් කොන්දේසියක් වන්නේ අය වැයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කර ගැනීම. එයින් කියැවෙන්නේ අවම වශයෙන් රාජ්‍ය ආදායම වර්තමාන වියදම් පියවා ගැනීමටවත් තරම් වෙන්න ඕනෑ කියන එක. රජය ආදායම් වැඩි කර ගැනීමට උත්සාහ දැරුව ද වියදම් කළමනාකරණයට උත්සාහ දරන බවක් පේන්න නෑ. තවමත් රජය දේශීය වශයෙන් විශාල වශයෙන් ණය ගනිමින් ඉන්නේ. මේ මුදල් වියදම් කරන්නේ ඵලදායී කටයුතුවලට ද කියන එක ප්‍රශ්නයක්. IMF එක් යෝජනාවක් තමයි අඩු ආදායම්ලාභීන්ට අස්වැසුම ලබාදීම. නමුත් සමෘද්ධිය වගේම මේකත් දේශපාලනීකරණය වෙලා. දිනපතා ප්‍රතිලාභීන් සංඛ්‍යාව වැඩි වෙනවා. හැමදෙයක්ම දේශපාලන අරමුණුවලිනුයි ක්‍රියාත්මක වෙන්නෙ. දිනපතා උත්සවවලට මුදල් සහ රාජ්‍ය සම්පත් කොපමණ වියදම් කරනවාද? අලුතින් විදේශ විනිමය ඉපැයීමට අරගත් පියවර මොනවාද? ඇත්ත වශයෙන්ම නීතිය ක්‍රියාත්මක වීමේ ප්‍රමාදය දූෂණ වංචා ඉහළ යාමට හේතුවක්.

 

IMF කොන්දේසි අනුව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන දේපළ බද්ද පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

2025 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට බදු සංශෝධන ගණනාවක් IMF යෝජනා කරලා තියෙනවා. එයින් එකක් තමයි ආරෝපිත කුලී ආදායම් බද්ද. 2025 අප්‍රේල් 1දා සිට බද්ද අය කිරීමට යෝජනා කරලා තියෙන්නෙ අයිතිකරු වාසය කරන සහ හිස්ව පවතින නේවාසික ඒකකවලින්. මේ බද්දෙන් අපේක්‍ෂිත ආදායම 2025දී දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.15ක් සහ 2026දී සියයට 0.4ක් වෙනවා. මූලික වශයෙන් මෙයට යටත් වන්නේ ඉහළ වටිනාකමකින් යුත් අයිතිකරු වාසය කරන දේපළ බවයි දැක්වෙන්නේ. නමුත් අදාළ රාජ්‍ය ඇමැතිවරයා කියන්නෙ හිමිකරු පදිංචි නිවාසවලට අදාළ වෙන්නේ නෑ කියලා. ඒ හැර එකකට වැඩි නිවාස ගණනක් යමෙකුට තියෙනවා නම්, එය බද්දට යටත් වෙනවා කියලා. නමුත් IMF එකඟතාවට අනුව සෑම නිවසකටම ආරෝපිත බද්දක් අය කළ යුතු වෙනවා. දන්නා පරිදි සංවර්ධිත බොහෝ රටවල මෙවැනි බදු තියෙනවා. හැබැයි ඒ රටවල බොහෝ දෙනා ඉන්නෙ කුලී නිවාසවල. ඒ නිසා පදිංචිකරුට එහි බලපෑමක් නෑ. නමුත් අපේ රටේ හැම කෙනෙකුම කැමතියි තමන්ගේ නිවසක ඉන්න. ඒක තමයි අපේ සංස්කෘතිය. බෙහෝ දෙනා නිවාස හදලා තියෙන්නේ ණය අරන්. ඒවට පොලිය ගෙවනවා හෝ ගෙවලා තියෙනවා. දැනටමත් අසීරුවෙන් ජීවත් වන මිනිස්සුන්ට තවත් අමතර බරක් පැටවීම ඉතාම අසාධාරණයි.

 

ජනතාව වෙත එල්ලව තිබෙන බදු බර අවම කර ගැනීමේ ක්‍රමවේද විදිහට ඔබේ යෝජනා මොනවාද?

මේ වන විට අපේ රටේ ජනතාව බදු බරින් මිරිකිලා ඉන්නේ. ඍජු බදුවලින් බොහෝ දුරට වෘත්තිකයන් තමයි පීඩාවට පත්වෙලා තියෙන්නේ. හැබැයි ඍජු බදුවලටත් වඩා වක්‍ර බදු තමයි බරපතළ විදියට ජනතාව පීඩාවට පත් කරලා තියෙන්නෙ. ආර්ථික අර්බුදයේ බර සම්පූර්ණයෙන්ම දරන්න වෙලා තියෙන්නෙ ජනතාවට. අර්බුදය ඇති කිරීමට දායක වූවන් අර්බුදයෙනුත් වාසි ලබන බවක් තමයි පේන්න තියෙන්නෙ. පසුගිය දශක දෙකක පමණ කාලයේ රජයේ වර්තමාන වියදම් පියවා ගත්තෙත් ණය අරන්. ඒ විතරක් නෙමෙයි රජය වියදම් කළෙත් ඵලදායී නොවන ව්‍යාපෘතිවලටයි. ආර්ථික අර්බුදයේ මූල බීජ තමයි ඒවා. අතීතයේ කරපු වැරදි දැන්වත් නිවැරදි කළ යුතුයි. රාජ්‍ය ආදායම වැඩි කිරීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා තාර්කික හා ඵලදායී ක්‍රමවේද සැකසිය යුතුයි. ආදායම් වැඩි කර ගැනීමට වගේම තාර්කික වියදම් කළමනාකරණයට සැලැස්මක් සැකසිය යුතුයි. සහනාධාර මානසිකත්වය අපේ රටේ දරිද්‍රතාවටත් සංවර්ධනයටත් බාධා ගෙන දෙන ප්‍රධාන හේතුවක් කියලයි මට හිතෙන්නෙ. “හැම දෙයක්ම රජය නොමිලේ හෝ අඩු මිලට ලබා දිය යුතුය” යන ආකල්පයකයි බොහෝ දෙනෙක් සිටින්නේ. ඒ නිසා මෙම තත්ත්වය වෙනස් කිරීමට ආකල්පමය වෙනසක් ඇති කිරීම අත්‍යවශ්‍යයි.

 

අපේ රට නැවත ණය ගෙවිය හැකි රාජ්‍යයක් බවට පත්වීමට කළ යුතු කාර්යයන් මොනවාද?

සමස්තයක් වශයෙන් වේගවත් ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීම අත්‍යාවශ්‍යයි. පසුගියදා එළඹෙන ලද ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් ද්විපාර්ශ්වික ණයවලින් යම් ප්‍රමාණයක් ආපසු ගෙවීම 2028 දක්වා කල්දමා ගැනීමට හැකිව තිබෙනවා. ඒ වගේම ස්වෛරීත්ව බැඳුම්කර මඟින් ලබා ගත් ණය ප්‍රතිව්‍යුහගතකරණයට ද ඉක්මනින් එළඹීමට හැකිවේ යැයි රජය අපේක්‍ෂා කරනවා. මේ හරහා විවර වන අවකාශය ණය ගෙවීමේ විධිමත් සැලැස්මක් සැකසීමට යොදාගත හැකියි. විදේශීය ණය ගෙවීමට ප්‍රධාන වශයෙන් ම රටේ විදේශ විනිමය සංචිත ඉහළ නංවාගත යුතුයි. ඒ සඳහා වන කෙටිකාලීන උපාය මාර්ග වශයෙන් විදේශීය ප්‍රේෂණ ඉහළ නංවා ගැනීම, සංචාරක කර්මාන්ත ක්‍ෂේත්‍රය වර්ධනය කිරීමට විධිමත් වැඩපිළිවෙළ සැකසීම, ආර්ථික වර්ධනයට ද තුඩු දෙන විදේශ ඍජු ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා අවශ්‍ය භෞතික හා නෛතික යටිතල පහසුකම් සංවර්ධනය යනාදිය සැලකිය හැකියි. ඒ හැර විදේශීය ණය ගැනීම් ඉහළ යාම පාලනය කළ යුතුයි. දිගුකාලීන උපාය මාර්ග වශයෙන් ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති කර ගැනීමට හැකිවන පරිදි අපනයන ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම මේ සඳහා අත්‍යවශ්‍ය සාධකයක්.

 

රුවන් පුෂ්පකුමාර, සන්නිවේදන හා මාධ්‍ය ඒකකය, කැලණිය විශ්වවිද්‍යාලය

උපුටා ගැනීම දිනමිණ

Social Sharing
අවකාශය නවතම