බන්ධනාගාර දෙපාර්තමේන්තුව ස්ථාපිත කෙරෙන්නේ 1905 වර්ෂයේ ජූලි මස 16 දිනයි. එතෙක් 1844 – 1904 දක්වා බන්ධනාගාරය පැවැතියේ පොලිස් දෙපාර්තමේන්තුව යටතේයි. එකල බන්ධනාගාර කොමසාරිස්වරුන් නොමැති වූ අතර ප්‍රධානියා හැඳින්වූයේ Inspector General of Prison නමිනි. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරය ආරම්භ වන්නේ 1994 වසරේදී වන අතර පළමු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වන්නේ එච්. ජී. ධර්මදාස මහතායි. එතැන් සිට කොමසාරිස් ජනරාල් ධුර බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉතිහාසයට එක්විය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව අද (16) වැනිදා සිය 119 වැනි බන්ධනාගාර දිනය සමරයි. ඒ නිමිත්තෙන් වත්මන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සමඟ අප කළ සම්මුඛ සාකච්ජාව මෙසේ දක්වමු.
අපරාධ යුක්ති ක්‍රමයේ අධිකරණ නියෝග ක්‍රියාත්මක කරන අවසාන අංශය බන්ධනාගාර දෙපාර්තමේන්තුව හෙයින් පළමුව මෙහි ව්‍යුහය විග්‍රහ කර දෙන්න ?
යම් පුද්ගලයකු වරදක් සිදු කර නීතිය ක්‍රියාත්මක කරන ආයතනයන්හි අත්අඩංගුවට පත්වී අධිකරණ මඟින් බන්ධනාගාරගත වූ විට ඔහුගේ / ඇයගේ ඉදිරි කටයුතුවල සම්පූර්ණ වගකීම එතැන් පටන් පැවරෙන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවටයි. එම පුද්ගලයාගේ ආරක්ෂාව, සමාජයේ ආරක්ෂාව තහවුරු කර නීත්‍යානුකූලව එම රැඳවියාට ලබා දිය හැකි සෞඛ්‍ය, ආහාර ඇතුළු පහසුකම් දීලා ඔහු / ඇය යහපත් පුරවැසියන් ලෙස නැවත සමාජයට යොමු කිරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනවා.
මේ කාර්යයන් සිදු කිරීමේදී බන්ධනාගාර නියාමක, සැරයන්, ජේලර්, අධිකාරි, කොමසාරිස් සහ කොමසාරිස් ජනරාල් කියන තනතුරුවලට අයත් නිලධාරීන් විවිධ සේවාවන්හි නිරත වෙමින් සේවයටත් එහා ගිය කැපවීමකින් කටයුතු කරනවා. 7872ක් වූ සියලුම බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර ආයතන 31ක තම සේවා සපයන අතර අධි ආරක්ෂක, එළිමහන් සිරකඳවුරු, සාමාන්‍ය සිරකරුවන් රඳවන බන්ධනාගාරවල රැඳවියන්ගේ ආරක්ෂාව, රැකවරණය, පුනරුත්ථාපනය වෙනුවෙන් සේවා සපයනවා. බන්ධනාගාරය තුළ සිටින අපරාධකරුවන් සමඟ කටයුතු කරන්නේ කෙසේද කියා බන්ධනාගාර නිලධාරියකුට අප වසරක පුහුණුවක් ලබා දෙනවා. විශේෂයෙන්ම බන්ධනාගාර නිලධාරීන්, බන්ධනාගාරගතව සිටින අපරාධකරුවන් සමඟ කාලයක් ගැවසෙන විට, වැඩ කරනවිට එම නිලධාරියාටත් යම් පීඩනයක් ඇති වනවා. ඒවා කළමනාකරණය කරගෙන රැඳවියන්වත් රැකබලාගෙන ඔවුන්ව පුනරුත්ථාපනය කරන්නේ කෙසේද යනුවෙන් මෙම පුහුණුවේදී අපි මෙම නිලධාරීන්ට උගන්වනවා. මෙහිදී අනුගමනය කෙරෙන ජාත්‍යන්තර සහ දේශීය නීති රීති පිළිබඳව දැනුම ද බන්ධනාගාර නිලධාරීන්ට අප ලබා දෙනවා.
බන්ධනාගාර නිලධාරියාගේ වගකීම් වන්නේ මොනවාද?
බන්ධනාගාර නිලධාරියා සමබර පුද්ගලයකු ලෙස ගොඩනැඟිය යුතුයි. ඔහුගේ ප්‍රධාන වගකීම් වන්නේ සමාජ ආරක්ෂාව තහවුරු කිරීමට සහය වීම, රැඳවියන්ගෙන් සමාජයට බලපෑමක් නොවන ආකාරයටත් අනෙක් රැඳවියන්ට බලපෑමක් නොවන ආකාරයටත් බන්ධනාගාරය තුළ සාමය පවත්වා ගැනීමට කටයුතු කිරීමයි. බන්ධනාගාරවල සිටින රැඳවුවන් බහුතරය විවිධ අපරාධවලට පෙළඹුණු අයයි. ඒ නිසා ඔවුන්ව පාලනය ඇත්තෙන්ම අසීරුයි. මේ නිසා අපි බන්ධනාගාර නිලධාරීන් දැඩි විනයක් අනුව කටයුතු කරන ආකාරය පිළිබඳව පුහුණුවක් ලබා දී තිබෙනවා. ඒ පුහුණුව ද උපයෝගි කරගෙන සෑමවිටම බන්ධනාගාරය තුළ සහයෝගිතාව සමබරව ගෙන යාමේ වගකීම බන්ධනාගාර නිලධාරියා සතුයි.
රැඳවියන් කියන්නෙත් මනුෂ්‍යයෝ. ‘සිරකරුවෝ මනුෂ්‍යයෝය’ කියලා බන්ධනාගාර තාප්පයෙත් තියෙනවනෙ. ඔවුන්ටත් අවශ්‍යතාවන් තිබෙනවා. ඔවුන්ගෙ පවුල් තිබෙනවා. ඒ ගැනත් අවධානය යොමු කිරීම බන්ධනාගාර නිලධාරියාගේ වගකීම. බන්ධනාගාර නිලධාරියා තමයි සිරකරුවකුට බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ සිටින මවුපියන්, වැඩිහිටියන්, හිතවතා වන්නේ. සිරකරුවකුට තමන්ගේ කඳුළු කතාව කියන්න ඔහුගේ දුක කියලා හිත නිදහස් කරගන්න හිරගෙදර සිටින එකම පුද්ගලයා බන්ධනාගාර නිලධාරියායි.
ඒවගේම බන්ධනාගාර නිලධාරීන්ගේ තවත් වගකීමක් වන්නේ රැඳවියන්ගේ සෞඛ්‍ය සනීපාරක්ෂාව මෙන්ම ආහාර අවශ්‍යතා නිසිපරිදි සපුරාලීමයි. ඔවුන් සෑම රැඳවියකුම පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කළ යුතුයි. රැඳවියනට උපදේශන සේවා ලබා දිය යුතුයි. මෙහිදී බන්ධනාගාර නිලධාරියා ඒ සඳහා නායකත්වය ගෙන විශාල කැප කිරීමක් සිදු කරනවා. රැඳවියන් අධිකරණ කටයුතු සඳහා රැගෙන යන්නේ (ආරක්ෂණය) බන්ධනාගාර නිලධාරීන් විසිනුයි. යහපත් කල්ක්‍රියාවෙන් බන්ධනාගාරය තුළ ගත කරන රැඳවියන් විශේෂ සමාව සඳහා ඉදිරිපත් කිරීමේ මූලික පියවර ගන්නේ බන්ධනාගාර නිලධාරියායි.
බන්ධනාගාර දිනයක් පැවැත්වීමේ අරමුණ කුමක්ද ?
බන්ධනාගාරයේ රාජකාරි සිදු කිරීම ඇත්තටම පහසු නෑ. එය අභියෝගාත්මක රැකියාවක්. එවැනි දුෂ්කර සේවයක නිරතවන බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් සෑම වසරකම ජූලි මස 16දා වෙන් කර තිබෙනවා. එදින බන්ධනාගාර දිනය ලෙස සැමරුම් උත්සව පැවැත්වෙනවා. රාජකාරියේ යෙදී සිටියදී දිවි අහිමි වූ මෙන්ම තම රාජකාරියේදී දිවි පරදුවට තබා කටයුතු කළ විශිෂ්ට දස්කම් දැක්වූ බන්ධනාගාර නිලධාරීන්ට උපහාර පිදීම මෙදින සිදුවෙනවා.
පොලිස් දෙපාර්තමේන්තුවෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙන් කර වෙනම දෙපාර්තමේන්තුවක් ලෙස ස්ථාපිත කෙරුණු ජූලි 16දා බන්ධනාගාර දිනය ලෙස නම් කර තිබෙනවා. මෙවර පැවැත්වෙන්නේ 119 වැනි බන්ධනාගාර දිනයයි. ඒ නිමිත්තෙන් අද (16)දා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බන්ධනාගාර පරිශ්‍රය ඉදිරිපිට පිහිටි ‘දිවි පිදූ බන්ධනාගාර නිලධාරීන් අනුස්මරණ ස්මාරකය’ අබියස සැමරුම් උත්සවයක් පැවැත්වෙනවා. මෙම ස්මාරකය නම් කර ඇත්තේ බන්ධනාගාර සැරයන් කේ. එල්. ජී. ආරියදාස මහතා නමින්. ඔහු 1984 නොවැම්බර් මස 30දා කෙන්ට්ෆාම් එළිමහන් සිරකඳවුරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට දිවිපිදූ අයෙක්. ඔහුත් සමඟ එම ප්‍රහාරයේදී දිවි අහිමි වූ බන්ධනාගාර සැරයන් පී. බියන්විල සැරයන් (කෘෂි) බී. පියදාස මහත්වරුන් ද පළමුවරට බන්ධනාගාර දිනයේදී අනුස්මරණය කළා.
මෙවරත් ඒ අය වගේම 2005 වසරේදී මීගමුව සිට ගම්පහ උසාවිය දක්වා රැඳවියන් ආරක්ෂණයේදී පාතාල කල්ලියකින් එල්ල වූ ප්‍රහාරයකින් මිය ගිය ජේලර්වරයකු හා සැරයන්වරුන් දෙදෙනකු 2017දී කළුතරදී සමයං ඝාතන සිද්ධියේදී දිවි අහිමි වූ ජේලර්වරයා සහ නියාමකවරයා, 2005 වසරේ ද ඇඹිලිපිටිය අධිකරණයේදී එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය නියාමකවරයා ඇතුළු රාජකාරියේදී දිවි පිදූ 15 දෙනකු අද (16) බන්ධනාගාර දිනයේදී අනුස්මරණය කරනවා. ඒ වගේම 119 වැනි බන්ධනාගාර දිනය නිමිත්තෙන් මෙම 17දා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී ද උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. පසුගිය වසර 05 ඇතුළත බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ද රාජකාරියේදී විශිෂ්ට සේවා සැපයූ, ක්‍රීඩා කුසලතා දැක්වූ බන්ධනාගාර නිලධාරීන් ඇගයීම එහිදී සිදු කෙරෙනවා. මෙහිදී ඇගයීමට ලක්වන බන්ධනාගාර නිලධාරීන් සඛ්‍යාව 50කට අධිකයි.
බන්ධනාගාර නිලධාරියාගේ රැකියාව ඉතා දුෂ්කර බව ඔබ පැවැසුවා. ඇත්තටම ඔහුගේ රැකියාවෙහි තිබෙන අභියෝග මොනවගේ ද ?
ජූලි 15දා වන විට මෙරට බන්ධනාගාරවල සිටින රැඳවියන් සංඛ්‍යාව 30,607ක්. මේ අයගෙන් වැඩි පිරිසක් සිටින්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි, අපරාධ සම්බන්ධ වැරදිවලට. මේ අය පුනරුත්ථාපනය කර සමාජගත කරන්නට සුවිශාල මෙහෙයක් සිදු කරන්නේ බන්ධනාගාර නිලධාරියායි. එහෙත් බන්ධනාගාර නිලධාරියාට පාතාල සාමාජිකයන්ගෙන්, සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන්, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් දැඩි තර්ජන තිබෙනවා. ‘මරණ තර්ජන’ එල්ලවනවා. මේ නිසා බන්ධනාගාර නිලධාරීන් සිටින්නේ දැඩි පීඩනයකින්. පසුගිය කාලයේ මේ වගේ දේවල්වලට මුහුණදෙන්නට බන්ධනාගාර නිලධාරීන්ට සිදු වුණා. නියාමකවරයකුගේ සිට ඉහළ නිලයන් දක්වා එක සේ මේ බලපෑම බන්ධනාගාර නිලධාරියාට එල්ල වී තිබෙනවා. ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් මේ හිරිහැර තර්ජන තිබෙනවා. පසුගිය කාලයේ මෙවැනි සිද්ධීන් ගණනාවක් වාර්තා වුණා. ඒවගේම බන්ධනාගාර රැඳවියන් උසාවි වෙත රැගෙන යාමේදී බන්ධනාගාර නිලධාරියා සතු වන්නේ සුළුපටු වගකීමක් නොවේ. සිරකරුවකු පැනයාමේ තැත මර්දනය පමණක් නොවෙයි, එම සිරකරුවාගේ ජීවිත ආරක්ෂාව ද සුරක්ෂිත කිරීමේ අභියෝගය ඔහු මත වෙනවා.
ඒ වගේම බන්ධනාගාර තදබදය නිසාත් බන්ධනාගාර නිලධාරියාගේ රාජකාරිය බොහෝ දුෂ්කර වෙලා. අද වන විට බන්ධනාගාර තදබදය 200%ක් වෙලා. බන්ධනාගාර පිරී ඉතිරී ගියාම බන්ධනාගාර නිලධාරියාට රැඳවියන් පාලනය කිරීම අසීරුයි. බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරීන් ද බන්ධනාගාරවල ආරක්ෂාව තහවුරු කිරීමේදී විශාල මෙහෙයක් සිදු කරනවා. ඔවුන් අද පාතාල කල්ලි ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් එන තර්ජන නොසලකා බන්ධනාගාර කටයුතු පවත්වාගෙන යාමට විශාල සහයෝගයක් ලබා දෙනවා. මේ සියලු අභියෝග දරාගෙන බන්ධනාගාර නිලධාරියා සිරකරුවන් රැකබලා ගැනීමට දුෂ්කර සටනක නිරතවෙනවා.
එවන් දුෂ්කරතා මැද නොපිරිහෙලා සේවය ඉටුකරන බන්ධනාගාර නිලධාරියා වෙනුවෙන් ඔබේ දෙපාර්තමේන්තුව ලබා දෙන්නේ මොනවා ද?
මේ සියලු අභියෝග දරාගෙන රැකියාව කරන, එම රැකියාව සේවයක් ලෙස සලකා දිවි පරදුවට තබා කටයුතු කරන බන්ධනාගාර නිලධාරියාට හොඳ වැටුපක් ලබාදෙන්නයි අපි සැමවිටම උත්සහ කරන්නේ. වසර 10කින් පමණ බන්ධනාගාර නිලධාරීන්ට වැටුප් වැඩිවීමක් සිදු වී නෑ. පසුගිය වසර කිහිපයේ රටේ පැවැති යම් යම් අස්ථාවරභාවයන් එයට හේතු වුණා. මේ නිසා බන්ධනාගාර නිලධාරීන් තුළත් යම් අසහනකාරී තත්ත්වයන් පසුගිය දිනවල ඇති වුණා. ‘බන්ධනාගාර නිලධාරීනුත් මනුෂ්‍යයෝ’. ඒ නිසා ඔවුන්ගේ හඬටත් අප ඇහුම්කන් දිය යුතුයි. මේ හඬට සවන්දීමේ එක් පියවරක් ලෙස රජයත්, අධිකරණ ඇමැතිතුමාත් මැදිහත්ව බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් ප්‍රශ්නයට විසඳුම් ලබා දෙමින් සිටිනවා. එහි මුල් පියවරක් වශයෙන් රුපියල් 10,000ක දීමනාවක් ඔවුන්ගේ වැටුපට එකතු කළා.
ඒ වගේම බන්ධනාගාර නිලධාරීන්ගේ තනිකඩ නිල නිවාස සහ නිල නිවාස අලුත්වැඩියාව සඳහා මේ වසරේ ප්‍රමුඛත්වය ලබා දුන්නා. පසුගිය වසර කිහිපයේම අප ප්‍රතිපාදන ලබාදුන්නේ රැඳවුවන්ගේ පහසුකම් සනීපාරක්ෂක පහසුකම් ස්ථාපිත කරන්නයි. නමුත් මේ වසරේදී ඒ හා සමාන අවධානයක් බන්ධනාගාර නිලධාරින්ගේ පහසුකම් ස්ථාපිත කිරීමටත් වෙන්කර තිබෙනවා. බන්ධනාගාර නිලධාරියාගේ සේවය අනාරක්ෂිතයි. එය පිළිගත යුතු සත්‍යයක්. ඒත්, අපි සැමවිටම ඒ අයගේ ආරක්ෂාව ගැනත් හැකි උපරිමයෙන් අවධානය යොමු කරනවා. ඒ් වගේම බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟය දරුණුයි. මෙයට පිළියමක් ලෙස නවක බන්ධනාගාර නිලධාරීන් 900ක් බඳවා ගැනීමට අනුමැතිය ලැබී තිබෙනවා. මේ වනවිට ඒ සඳහා වන ලිඛිත පරික්ෂණය විභාග දෙපාර්තරම්න්තුව මඟින් පවත්වා අවසානයි.
බන්ධනාගාර නිලධාරීන් අතරේත් ‘මුදලට යටවන’ අය වාර්තා වෙනවා නේද ?
උසස් සේවයක් සපයන බන්ධනාගාර නිලධාරීන් අතරේ දූෂිතයිනුත් කිහිප දෙනෙක් සිටිනවා. ඒත් ඒ කිහිප දෙනා නිසා සමස්ත බන්ධනාගාර නිලධාරීන් දෙස වැරදි කෝණයකින් බැලීම යුතු නෑ. හිරගෙයක් අතරට වෙලා රැඳවියන් සමඟ ඔවුනුත් සිරවෙලායි කල්ගත කරන්නේ. මේ පිරිස අතරින් ඉතාම සුළු පිරිසකට දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන් අතරේ සිටින ඕනෑම කෙනෙක් දූෂිතයකු බව ඔප්පු වුවහොත් ඔහුව සේවයෙන් ඉවත් කරන්නට දෙපාරක් හිතන්නේ නෑ.
බුද්ධිකා ඉඹුලාන, ජායාරූප – මාලන් කරුණාරත්න
උපුටා ගැනීම – දිනමින