ක්ලබ් වසන්ත නමින් හදුන්වන ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු තවත් අයෙක් වෙඩි තබා ඝාතණය කිරීම සහ එම ස්ථානයේ සිටි ගායන ශිල්පිනී කේ. සුජීවා ඇතුළු තවත් අයෙකුට බරපතල තුවාල සිදු කිරීමට අදාල සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස සැලකෙන ටැටු ව්‍යාපාරිකයාගෙන් පොලිසියේ ඉහල නිලධාරීන් පිරිසක් විසින් සිදුකර ප්‍රශ්ණ කිරීම් හා අදාල ටැටු ව්‍යාපාරිකයාගේ පාපොච්චාරයණයන් ප්‍රධාන මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ සිට (ජුලි 10) ප්‍රචාරය විය.
විශාල සමාජ අවධානය යොමු වී ඇති, ප්‍රධාන පෙලේ ඝාතන සිදුවීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවෙකුගෙන් එලෙස ප්‍රශ්න කිරීම පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ ද බොහෝ දෙනා අදහස් පළකර තිබුණි. සාධාරණ නඩු විභාගයක් අපෙක්ෂා කරන, නීතිය මත පාලනයක් ගැන විශ්වාසය තබන පිරිස් පොලිසියේ මෙම ක්‍රියාව දැඩිව විවේචනය කර තිබුනි.
නීතිඥ ශිරාල් ලක්තිලක මහතා මේ සම්බන්ධව තම මුහුණු පොතේ සටහනක් තබමින් කියා සිටියේ.., “ලංකාවේ පොලීසිය මාරයි..! Witness interrogation වීඩියෝ කරල මාධ්‍යයට මුදාහරිනවා. සාක්ෂි කරුවන්ගේ පසුබිම මාධ්‍යයෙන් කියනවා. ඊට පස්සේ මුහුණු වහලා ගෙනවිත් පෙරඩ් එකට දානවා. අපරාධ යුක්තියට අඹ සරණයි” යනුවෙනි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පිරිස් බීබීසී සිංහල වෙත පවසා තිබුනේ මාධ්‍ය කැඳවා සිදු කරන මෙවැනි ප්‍රකාශ ලබා ගැනීම් තුළින් විමර්ශනයේ අපක්ෂපාතිත්වය පිළිබඳ ගැටලුවක් ඇති වන බවයි. වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මේ සම්බන්ධව කියා සිටියේ…
“මෙහෙම දෙයක් කරන්න බැහැ. සාමාන්‍යයෙන් ප්‍රකාශයක් ගන්න ඕන අපරාධ නීතියට අනුවයි. අපේ සාක්ෂි ආඥා පනතේ පොලිසිය සිදුකරන මේ වගේ ප්‍රකාශ සාක්ෂියක් වෙන්නේ නැහැ. එතකොට අපරාධ නීතියට අනුව ප්‍රකාශයක් සටහන් කරගන්න විදිහක් තියෙනවා.” මෙහෙම මීඩියා ගෙනල්ලා රෙකෝඩ් කලාම මුළු පරීක්ෂණයේම අපක්ෂපාතිභාවය ගැන ප්‍රශ්නයක් තියෙනවා.”
“අනෙක් කාරණාව තමයි අත්අඩංගුවේ ඉන්න සැකකරුගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න ඕන. මේවා පොලිස් නිලධාරින් කොහෙන් ඉගෙන ගන්නවද කියලා දන්නේ නැහැ. මෙහෙම කට උත්තර ගන්න බැහැ. එයා කියන දේ අහලා ලිඛිතව අරගෙන, අත්සන් අරගෙන කරන්න ඕන. අනිත් එක මීඩියා ගෙනල්ලා එහෙම දෙයක් කරද්දී සිදු කරන විමර්ශනයේ අපක්ෂපාතීත්වය ගැන ලොකු සැකයක් එනවා.
ඔහු මේ සම්බන්ධ සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබමින් පවසා සිටියේ මෙම ක්‍රියාවට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවයි.
“මෙය පොලිසිය පැත්තෙන් ගත් විට සම්පූර්ණයෙන්ම මෝඩකමක්. අපරාධ පරීක්‍ෂණයක් කළ යුත්තේ වෘත්තීයමය ආකාරයෙන් වැරදිකරුවෙකු නීතිය හමුවට ගෙන ඒමේ අරමුණින්, නැතුව ලාභ ප්‍රසිද්ධිය ලබා ගැනීමේ අරමුණින් නොවේ. මෙවන් ආකාරයේ සජීවී “පාපොච්චාරණයක්” ප්‍රධාන මාධ්‍යයේ සහ සමාජ මාධ්‍යවල හුවමාරු වීම, නඩුවේ අවසාන ප්‍රතිඵලයට අහිතකර ලෙස බලපානු ඇත. මේ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගත යුතුයි.” ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණි.
පසුගිය කාලය පුරාවට මෙවැනි සිදුවීම් වරින් වර අපට දකින්ට ලැබුන අතර, විශේෂයෙන් මෑතක සිට පොලීසිය සිදු කරන සමහර මෙහෙයුම් නාට්‍ය අනුසාරයෙන් කරනු ලබන අවස්ථාවන් ද අපට මාධ්‍ය හරහා දකින්නට ලැබුනි. මේ අතර සමහර නිලධාරීන් මාධ්‍ය ඉදිරියේ තමුන්ගේ වීරකම් පෙන්වීම සදහා විශාල තරගයක නියෙලෙන අවස්ථාවන් ද අපට දකින්ට ලැබුනි.
මෙවැනි ප්‍රශ්ණ පිළිබදව මීට පෙර අවස්ථා කිහිපයක දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, පොලිස් කොමිසම හා හිටපු පොලිස්පතිවරු වෙත විවිධ පුද්ගලයින් හා සංවිධාන විසින් පැමිණිලි යොමු කර තිබුනි.
එහි ප්‍රතිඵලයක් ලෙස 2021 සැප්තැම්බර් 21 වන දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිස විසින් හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින්.., අංක ඩී 5 දරණ පොලිස් දෙපාර්තමේන්තු නියෝග කෙරෙහි අවධානය යොමු කරමින්.., අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ගේ ඡායාරෑප හා විමර්ශන තොරතු මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම තුලින් එම සැකකරුවන්ගේ මූලික අයිතිවසිකම් කඩවීමට ලක්වන බවත්, මේ සම්බන්ධව පියවර ගන්නා ලෙසත්, මෙවැනි තත්ත්වයන් ඉදිරියේදී ඇතිවීම වැලැක්වීම සදහා ගන්නා ක්‍රියාමාර්ග පිළිබදව වාර්තාවක් 2021 ඔක්තෝබර් 4 වන දිනට පෙර කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙසත් දන්වා තිබුනි.
ඊට ප්‍රථිචාර දක්වමින් හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විසින් සියළුම ඉහල පොලිස් නිලධාරීන් වෙත 2022 පෙබරවාරි 14 වන දින නියෝගයක් නිකුත් කරමින්, අත්අඩංගුවේ පසුවන සැකකරුවන් පිළිබදව තොරතුරු මධ්‍ය වෙත නිකුත් කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිඡේදයේ 13(5) ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ‘’වරදකරුවෙකු යැයි ඔප්පු කරන තෙක් සෑම තැනැත්තෙක්ම නිර්දෝශී යැයි පූර්වානුමාන කළ යුතුය’’ යන අයිතිවාසිකම කඩ විය හැකි බවත්, එවැනි ක්‍රියාමාර්ග තුළින් අදාල නඩු කටයුතු වලට අගතියක් විය හැකි බවත් පෙන්වා දී තිබුනි.
එමෙන්ම, ඉදිරියේ දී අත්අඩංගුවට ගැනීම්, විමර්ශන ආදිය ඇතුළු අනෙකුත් විස්තර පොලිස් මාධ්‍ය කොට්ඨාශය මගින් පමණක් සිදු කරන බවත්, නිසි පූර්ව අවසරයකින් තොරව මාධ්‍ය වෙත තොරතුරු මුදාහරින නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් එමගින් දන්වා තිබුනි.
නමුත්, 2022 වසරේ ඉදිරිපත් කර තිබූ මෙම පොලිස්පති නියෝගය නිසියාකාරයෙන් ක්‍රියාත්මක වන බවත් අප නුදුටු අතර, ක්ල්බ් වසන්ත ඝාතන සිද්ධියෙන් පසුව මේ පිළිබදව සාකච්ඡාව නැවතත් ආරම්භ වී තිබේ.
බීබීසී සිංහල, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නිමල් පුංචිහේවා මහතාගෙන් විමසූ විට පවසා ඇත්තේ තවම ඔවුන් වෙත මේ සම්බන්ධව පැමිණිල්ලක් ලැබී නැති බවයි. නමුත්, බරපතල ගනයේ අයිතිවාසිකම් කඩවීමක් සම්බන්ධව පැමිණිලි ඇතිව හෝ නොමැතිව ඒ සම්බන්ධව විමර්ශනය කිරීමට කොමිෂන් සභාවට බලය ඇති අතර, මේ සම්බන්ධව මීට පෙර කොමිසම ගෙන ඇති පියවර අනුව කටයුතු කිරීම කොමිසමේ වගකීමක් බවද මේ ලියුම්කරු පෙන්වා දීමට කැමැත්තේමු.