2012.04.15 වන දින වාද්දුව පෙලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ නො. 25 ධීවර නිවාස, රත්නායක මාවත, දකුණු තල්පිටිය, වාද්දුව පදිංචිව සිටි දසනායකගේ නිමල් චන්ද්‍රසිරි අප්පුහාමි පොලිස් අත්අඩංගුවේදී මිය යාම සම්බන්ධයෙන් නීතිපතිවරයා 2017 වර්ෂයේ පානදුර මහාධිකරණයේ HC 3499/2017 අංකය යටතේ එවකට වාද්දුව පොලිස් ස්ථානයේ හිටපු පොලිස් පරික්ෂක නිමල් කරුණාරත්න, පොලිස් සැරයන් (41064) ඇතුල්දොර ආරච්චිගේ ෆීලික්ස් චන්දන සේපාල, පොලිස් කොස්තාපල් (88816) ලයනල් අබේසිරි, පොලිස් කොස්තාපල් (61547) සරත් කුමාර, පොලිස් කොස්තාපල් 38545 සරත් සේනවර්ධන යන නිලධාරීන්ට විරුද්ධව පැවරූ මෙම නඩුව 2024.07.05 වන දින විභාගයට ගත් අතර එදින මියගිය තැනැත්තාගේ බාල පුතා වන දසනායකගේ තුෂාන් සම්පත් සහ ඔහුගේ සොහොයුරා වන දසනායකගේ සංජීව උදය කුමාර සාක්ෂි ලබා දෙන ලදි. තුෂාන් යන අය සාක්ෂි ලබාදෙමින් තාත්තා බැලීමට වාද්දුව පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේ “මේගොල්ලෝ මට ගැහුවා මගේ පපුව රිදෙනවා” කියා පැවසූ බව ප්‍රකාශ කරමින් සාක්ෂි ලබා දෙන ලදි.
තවද සංජීව විසින් තම සොයුරා බැලීමට උදේ 6.30 ට පමණ වාද්දුව පොලිසියට ගිය බවත් අයියා කූඩුවේ බංකුව උඩ නිදා සිටිනවා දුටු බවත් එවිට “නිමල් අයියා නිමල් අයියා” කියා කතා කල නමුත් ඔහු කතා නොකල බවත් පොලිසිය අයියා බැලීමට ඉඩ නොදී මා හට එළියට යන ලෙස කෑ ගසමින් බැන වැදුනු බව ප්‍රකාශ කරමින් සාක්ෂි ලබා දෙන ලදි. මේ වන විට මෙම සිද්ධිය සිදුවී වසර 12 ක් ගතවී ඇත. මිය යන විට නිමල් චන්ද්‍රසිරිගේ වයස අවුරුදු 43 ක් වූ තිදරු පියෙක් වන අතර ඔහු රැකියාව ලෙස ධීවර කටයුතු වල නිරත වී ඇත.
මෙම නඩුව සදහා පානදුර රෝහලේ සේවය කල වෛද්‍ය අනූෂා දිල්හානි මුතුකුඩ ආරච්චි මහත්මිය හා විශේෂඥ අධිකරණ වෛද්‍ය එම්.සිවසුබ්‍රමනියම් මහතා විසින් සාක්ෂි ලබා දී ඇත. මෙම නඩුව නැවත 2024.08.27 වන දින පානදුර මහාධිකරණයේ විභාග කිරීමට නියමිතව ඇත.
2012 වර්ෂයේදී මේ සිදුවීම සම්බන්ධව SCFR-260/2012 අංකය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව මේ වන විටත් විභාග වෙමින් පවතින අතර ඒ සඳහා නීති ආධාර සැපයීම රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.