අවුරුදු දෙදහස් පන්සීයකට වැඩි දීර්ඝ ඉතිහාසයක් ඇති බව කියන ශ්‍රී ලංකික අපිට ඇත්තේ අමුතුම සංස්කෘතියක්. අපේ බොහෝ ක්‍රියාකරකම් අතරින් හිංසාවකින් තොරව අවසන් වන ක්‍රියාවක් සොයාගැනීමට අපට නොහැකි තරම්. අපේ අධ්‍යාපන මට්ටම් ආසියාවේ අනෙක් රටවලට සාපේක්ෂව යම් කිසි ඉහළ අගයක් ගනු ලැබුවත්, අපි නවීන විද්‍යාව හා තාක්ෂණය බහුලව භාවිතා කරන බව පැවසුවත්, තවමත් පැරණි සංස්කෘතීන්ගෙන් ඉවත්වීමට අපි දක්වන්නේ විශාල අකමැත්තක්.
ලෝකයේ වැඩි දෙනෙකු භාවිතා කරනු ලබන ප්‍රධාන ආගම් අප රටේ ක්‍රියාත්මක වුවත්, එම ආගම් හරහා පුරවැසියන් ශික්ෂණය කරන බව පැවසුවත්, එසේ ශික්ෂණය වු පුරවැසියන් අප අතරින් සොයා ගැනීම ඉතා අපහසු කාර්යක්. අපි අතර ඇති වන අපි සුළු ප්‍රශ්නයක දි පවා එය විසඳා ගැනීමට තවමත් භාවිතා කරන්නේ ගල් යුගයේ යොදා ගත් ක්‍රමවේදයමයි. එනම්, බුද්ධිය නොව කාය ශක්තියයි. වෙනත් භාෂාවකින් කියනව නම් අතපය හතරයි. එසේ නොමැති නම් අතපය භාවිතයට වඩාත් හිංසාකාරී වාග් මාලාවයි.
මෙම හිංසාකාරී සමාජ සංස්කෘතිය අපේ රාජ්‍ය පද්ධතියටත් කාන්දු වෙලා තියෙන්නෙ හරියට ගහට පොත්ත වගේ. ලෝකයේ සෑම රාජ්‍යයක්ම ශිෂ්ඨත්වය වෙත ගමන් කරමින්, හිංසනය තම සමාජ පද්ධතියෙන් හා රාජ්‍ය පද්ධතියෙන් වේගයෙන් ඉවත් කරමින් ඉන්නා විට, අපි තවමත් ඒ් තුළම ගල්වී ඉන්නවා. නමුත්, අපි අනෙක් රටවල් සමාජයේ ශිෂ්ඨත්වය ප්‍රගුණ කිරීම සදහා ගෙනවිත් ඇති ජාත්‍යන්තර සම්මුතීන්වලට එකඟ වෙමින් එම සම්මුතීන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට ගිවිසුම් ගත වී තිබෙනවා. ඉන් සමහර ජාත්‍යන්තර නීති අපේ නීති පද්ධතියට ඇතුළත් කරමින් මතුපිටින් බොරු ශිෂ්ඨත්වයක් පෙන්නුම් කර තිබෙනවා.
වදහිංසාවට හා අනෙකුත් කෘෘර අමානුෂික ක්‍රියාවන්ට එරෙහි ජාත්‍යන්තර ගිවිසුම අපි එසේ අත්සන් කළ තවත් වැදගත් ගිවිසුමක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය වෙත මෙම සම්මුතිය ඉදිරිපත් වුයේ 1987ජුනි 26 වන දිනයි. මෙම සම්මුතියට 1994 ජනවාරි 03 වන දින ශ්‍රී ලංකා රජය ද අත්සන් කරනු ලැබුවා.
ඉන් නොනැවතුණු ශ්‍රී ලංකා රජය වදහිංසාවට සහ අනෙකුත් කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්වලට එරෙහි 1994 අංක 22 දරණ එක්සත් ජාතීන්ගේ සම්මුති පනත එම වසරේම නොවැම්බර් 25 දින විශේෂ පනතක් ලෙස පාර්ලිමේන්තුවට ගෙනවිත් සම්මත කරනු ලැබුවා. එම නීතිය 1994 දෙසැම්බර් 20 වනදින සිට ශ්‍රී ලංකාවේ බලාත්මක වූයේ වදහිංසාවට සහ අනෙකුත් කෲර, අමානුෂික හෝ අවමන් සහගත ලෙස ශාරීරිකව හෝ මානසිකව සැලකීම අපරාධ වරදක් බවට පත්කරමින්. එවැනි ක්‍රියාවකට වරදකරුවෙකු වුවහොත්, සත්අවුරුද්දකට නොඅඩු සිරදඬුවමකට හා රුපියල් 50,000කට නොඅඩු දඩයකට ද යටත්කර තිබෙනවා. ඉන් නොනැවතුණු අපි “වදහිංසාව කිසිසේත් නොඉවසීම” (zero tolerance on Torture) ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්තිය බව ප්‍රකාශ කර තිබෙනවා.
එම නීති ක්‍රියාත්මක වෙන්නට පෙර සිට ශ්‍රී ලංකාව වදහිංසාවට එරෙහිව බරපතල පියවර ගත් රටක්. 1948 දෙසැම්බර් 10 එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනය ලොවට හඳුන්වා දුන්නා. එහි 5 වන වගන්තියේ “කිසියම් රාජ්‍ය පාර්ශවයක් විසින් කිසියම් තැනැත්තෙකු වදහිංසාවට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් කිරීම” බරපතල මානව හිමිකම් උල්ලංඝනයක් ලෙස සඳහන් වී තිබෙනවා.
ශ්‍රී ලංකා රජය මෙම ජාත්‍යන්තර ප්‍රඥ්ඥප්තියට අත්සන් තබමින්, 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන විට ඉහත විශ්ව ප්‍රකාශනයේ සඳහන් 5 වැනි වගන්තිය ගෙඩි පිටින්ම ඇතුළත් කළා. එය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාවට මුළුමනින්ම ඇතුළත් කර ඇත්තේ වදහිංසාවට එරෙහිව ශ්‍රී ලංකාවේ රාජ්‍යය ද අනෙකුත් රාජ්‍ය මෙන් කටයුතු කරන බවට දුන් සහතිකයක් ලෙසයි. එමෙන්ම එම අයිතිවාසිකම කිසිකෙනෙකුට අභියෝගයට ලක්කළ නොහැකි ජනතාවගේ මූලික අයිතිවාසිකමක් ලෙස සඳහන් කරමින්.
මෙම සුවිසල් නීති අනුව ගත් විට ශ්‍රී ලංකා රාජ්‍යය තුළ වදහිංසනය ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බවට හා අපරාධමය වරදක් බවට පත් කර තිබෙනවා. මෙම නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළත් වී දැනට වසර 46 ක්. 1994 අංක 22 දරණ වදහිංසා පනත යටතේ අපරාධමය වරදක් බවට පත් කර වසර 30ක්.
මෙතරම් සුවිසල් නීති පද්ධයක් මගින් අපව ආරක්ෂා කර තිබුනත්, ශ්‍රී ලංකාවේ සමාජය තුළත්, අපගේ රාජ්‍ය දේහය තුළත් සිදුවන වදහිංසාවේ අඩුවක් පෙනෙන්නට තිබේද?
අප රාජ්‍ය ව්‍යුහයේ ප්‍රධාන ඒකක ලෙස පවතින පොලිසිය, පාසැල් හා බන්ධනාගාර පද්ධතිය තුළ වදහිංසාව බහුලව භාවිත වන බවට වාර්තා වෙනවා. විශේෂයෙන් ප්‍රාදේශීය පොලිස් ස්ථාන අපරාධ පරීක්ෂණය සහ තොරතුරු ලබා ගැනීම සදහා වදහිංසනය බහුලව භාවිතා කරනවා. පරිපාලන කටයුතු පහසු කර ගැනීම සදහා බන්ධානාගර තුළ පමණක් නොව පාසල් තුළත් වදහිංසාව භාවිතා කිරීම සිදු වෙනවා.
එය කොතරම් ප්‍රමාණයක් ද යන්න පිළිබඳ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත, පසුගිය අවුරුදු තුන තුළ වාර්තාව වූ පැමිණිලි ප්‍රමාණයෙන් අපිට යම් අවබෝධයක් ලබා ගැනීමට හැකියි.
වසර | වදහිංසාව | අවමන් සහගත සැලකීම් | පුද්ගල නිදහස සීමා කිරීම |
2021 | 302 | 12 | 1616 |
2022 | 560 | 16 | 2228 |
2023 | 345 (නිල නොවන වාර්තා) |
නොදැනුවත්කම, අවිශ්වාසය, බිය, නීතිය ක්‍රියාත්මක වීමේ ඇති ප්‍රායෝගික ගැටලු හා ඒ පිළිබදව ඇති කලකිරීම, ශ්‍රී ලංකාවේ පවතින බරපතල නඩු ප්‍රමාදය වැනි කරුණු නිසා, ඇත්තටම ශ්‍රී ලංකාව තුළ සිදු වන මෙවැනි සිද්ධීන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉහත කිසිම ව්‍යුහයකට වාර්තා නොවීමට ඉඩ තිබෙනවා. එවැනි අත්දැකීම් අපට තිබෙනවා, නමුත් අපට කටයුතු කරන්න වෙන්නේ ඉහත දක්වන ලද නිල සංඛ්‍යාලේඛන මත සිටයි.
මින් පෙනී යන්නේ ශ්‍රී ලාංකික සමාජයට තවමත් පැරණි සම්ප්‍රදායෙන් බැහැර වී කටයුතු කිරීමට නොහැකි වී ඇති බව නොවේද? එමෙන්ම, වදහිංසනයෙන් තොර ශිෂ්ඨ සමාජ ක්‍රමයක් පවත්වාගෙන යාමට අවශ්‍ය බරපතල නීති කොපමණ තිබුණත් අප එම නීති තඹේකට මායිම් නොකරන බව නේද? මෙම නීති කඩන නිලධාරීන් ආරක්ෂා කිරීම රජය විසිනුත් බහුතර සමාජය විසිනුත්, ජනමාධ්‍ය විසිනුත් සිදු කරන බවට මෑත කාලීන සාක්ෂි ඕනෑ තරම් සොයා ගැනීමට පුළුවන්.
වදහිංසනය සැබවින්ම ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට සිවිල් නීති පමණක් ප්‍රමාණවත් නොවන බව මින් පෙනී යයි. මහජන ආකල්පයන්ගේ වෙනසක් සමග, අපට ඇති සුවිසල් නීති සැබවින්ම ක්‍රියාත්මක කිරීම සදහා ප්‍රායෝගික යන්ත්‍රණයන්ද අපට අවශ්‍ය වී තිබේ. එහි දී වහා අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් තිබේ.
ඒ අතරින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වදහිංසනය ඇතුළු මූලික අයිතිවාසිකම් කඩවීමක් සම්බන්ධව පියවර ගැනීමට අවම වශයෙන් රුපියල් මිලියනයක පමණ වියදමක් හා වසර 5කට වැඩි කාලයක් ගත කිරීමට සිදු වේ. මේ මුදල හා කාලය වැය කිරීමට කිසිවෙකු සූදානම් වුවත්, අවසානයේ ලැබෙන ප්‍රතිඵලය තුළින් ඉහත මුදලවත් ආවරණය නොවේ. මෙවැනි නඩුවක් පැවරීමට ඇති දින 30 සීමාව, එම නඩුව ඉදිරියට ගෙනයාම සදහා අවසර ලබාදීමට ගන්නා කාලය හා නඩු තීන්දුව ලබා දීමට ගන්නා කාලයත්, හානි පුර්ණය සදහා නියම කරනු ලබන වන්දිය ප්‍රමාණවත් නොවීම නිසා මූලික අයිතිවාසිකම් නඩු පැවරීම මන්දගාමී වී තිබේ. එමෙන්ම, පුරවැසියෙකුගේ මුලික අයිතිවාසිකම් කඩ කළ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව රජය විනයානුකූල පියවර නොගැනීම නිසා නිලධාරීන් මෙවැනි ක්‍රියාවන් සදහා නැවත නැවතත් යොමු වේ.
එමෙන්ම, වදහිංසාවට එරෙහිව ඇති අනෙක් වැදගත් නීතියක් වන 1994 අංක 22 පනත සාර්ථකව ක්‍රියාත්මක නොවීමත් තවත් බරපතල හේතුවක් ලෙස සඳහන් කළ හැක. මේ පනත ශ්‍රී ලංකව තුළ ක්‍රියාත්මක වී ලබන දෙසැම්බර් 20 වන දිනට වසර 30ක් ගතවේ. පසුගිය වසර 25 තුළ මේ පනත යටතේ පැවරූ නඩු ප්‍රමාණය 115ක් බව වාර්තා වන අතර, එම නඩු ප්‍රමාණයෙන් සැලකිය යුතු කොටසක් විවිධ හේතු මත නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කරගෙන තිබේ. සාධාරණ නඩු විභාගයකින් පසුව අවසන් වූ නඩු ප්‍රමාණය ඉතා සුළු ප්‍රමාණයක බව පසුගියදා ඉදිරිපත් වූ වාර්තාවක සඳහන් වේ.