හිරුණිකාගේ ඇප ඉල්ලීමට නීතිපතිගෙන් විරෝධතා

මහාධිකරණය විසින් පසුගිය 28 වැනිදා බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඇප ලබාදීම සම්බන්ධයෙන් ලිඛිතව විරෝධතා ගොනු කරන බව නීතිපතිවරයා ඊයේ (04දා) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය.

එම නඩුවේ පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා ගම්පහ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවකට පෙනී සිටින බැවින් එකී ලිඛිත විරෝධතා ගොනු කිරීම සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙස ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ විශ්ව විජේසූරිය මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම කරුණු දැක්වීම සලකා බැලූ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නීතිපතිවරයාගේ ලිඛිත විරෝධතා හා විත්තියේ ඇප ඉල්ලීම සලකා බැලීම ලබන 11 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළේය. 2015.12.21 වැනිදා දෙමටගොඩදී තරුණයකු පැහැර ගැනීම සඳහා ආධාර අනුබලදීම ඇතුළු අධිචෝදනා 18කට වරදකාරිය කරනු ලැබූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට පසුගිය 28 වැනිදා මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් බරපතළ වැඩ සහිත වසර 33ක සිරදඬුවම් නියම කර එකී දඬුවම් කාලය එකවර එනම් වසර තුනකින් ගෙවී යන ලෙස ලබාදීමට නියම කර තිබිණි.

එයට අමතරව රුපියල් 360,000ක දඩයක් ද විත්තිකාරියට මහාධිකරණය විසින් නියම කළ අතර එකී සිරදඬුවම් හා දඩ නියෝගයන් බලරහිත කර තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස විත්තිකාරිය සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට අභියාචනා පෙත්සමක් ගොනු කර තිබිණි. එකී අභියාචනාවට යටත්ව සිය සේවාදායිකාව ඇප මත මුදාහරින ලෙස විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා මහාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

Social Sharing
නවතම පුවත්