අස්වැසුමෙන් සංක්‍රාන්තික හා අවදානමට ලක්වූ කාණ්ඩ ද්විත්වයටම ප්‍රතිලාභ ගෙවීම් තවදුරටත්

කාණ්ඩ ද්විත්වයටම විශේෂ දීමනාව ලෙස මසකට රුපියල් 5000ක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් වැඩසටහන යටතේ ප්‍රතිලාභ ගෙවීම් 2023 වර්ෂයේ ජූලි මස සිට ආරම්භ කෙරුණු අතර ඒ අනුව පළමු අදියරයේ දී හඳුනාගත් ප්‍රතිලාභීන් වන සංක්‍රාන්තික කාණ්ඩය යටතේ සුදුසුකම්ලාභින්ට රුපියල් 2500 බැගින් 2023 වර්ෂයේ දෙසැම්බර් දක්වා ගෙවීම් සිදු කෙරුණු අතර අවදානමකට ලක්වූ කාණ්ඩය සඳහා 2023 වර්ෂයේ ජූලි මස සිට මෙම වසරේ මාර්තු මස දක්වා ගෙවීම් සිදු කෙරුණි.

වර්තමාන ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට උපදෙස් දී ඇත්තේ සංක්‍රාන්තික කාණ්ඩයටත් අවධානමකට ලක්වූ කාණ්ඩයටත් විශේෂ දීමනා ගෙවීම් කාලය මෙම වසරේ දෙසැම්බර් මස දක්වා දීර්ඝ කරන ලෙසයි. ඒ අනුව 2024 ජූනි මස සිට සංක්‍රාන්තික කාණ්ඩය සහ අවදානමට ලක්වූ කාණ්ඩයේ ප්‍රතිලාභීන් සඳහා විශේෂ දීමනාවක් ලෙස මෙම කාණ්ඩ ද්විත්වය සඳහා මාසිකව රුපියල් 5000 බැගින් ගෙවීමට තීරණය කර ඇත.

ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් වැඩසටහන යටතේ 2024 ජුනි මාසය සඳහා සංක්‍රාන්තික හා අවදානමට ලක් වූ කාණ්ඩ ද්විත්වයේ ප්‍රතිලාභීන්ට විශේෂ දීමනාව ගෙවීම සඳහා රුපියල් බිලියන 11.6ක මුදලක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සමස්ත ප්‍රතිලාභීන් 622,495 දෙනෙකුගේ බැංකු ගිණුම්වල ජුනි මස 27 දින තැන්පත් කර ඇත.

එමෙන්ම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා ප්‍රකාශ කළේ අන්ත දිළිඳු හා දිළිඳු කාණ්ඩයේ ප්‍රතිලාභීන් හට පවත්නා ගෙවීම් ක්‍රමය යටතේ තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.

චේතනා ගෝමිස්

Social Sharing
ආර්ථික නවතම පුවත්