මුහුදේ පා වෙන බෝතල්වලින් මත්පැන් කියා වස පානය කරන ගුරුවරු – අජිත් පැරකුම් ජයසිංහ

රජයේ සේවකයන්ට වැටුප් වැඩි කරගන්නට අවශ්‍ය නම්, ඔවුන් පළමුව රාජ්‍ය ආදායම් වැඩි කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටිය යුතුය. බදු අය කිරීම සිදුකරන රාජ්‍ය ආයතන එය හරියට කළ යුතුය. අය කරන බදුවලින් කාර්යක්ෂම සේවාවක් රජය ලබාදෙන බව සහතික කළ යුතුය. බදු ගෙවන ජනතාව බදු ගෙවීමට නිර්ලෝභී වන්නේ එවිටය. සරලව කියනවා නම් රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවිය යුතුය.

එහෙත්, එවැනි තත්වයක් තිබේද? උදාහරණයකින් සලකා බලමු. මේ වන විට පාසල් අධ්‍යාපනයට සිදු වී තිබෙන දේ ගැන පාසල් යන දරුවන් සිටින මව්පියෝ දනිති. පාසල් අධ්‍යාපනය ගැන සරලව එක වාක්‍යයකින් කිව හැකිය. “පාසල්වල හරියට උගන්නන්නේ නැත.”

මේ වන විට සමාජ මාධ්‍යවල පාසල් අධ්‍යාපනය ගැන අවබෝධ කරගත හැකි වීඩියෝ කෑලි නිතර ෂෙයා වේ. රියලිටි තරගවලට පුහුණු වූ ළමයින් උදය රැස්වීම්වල කියන සිංදු, ගුරුවරුන් ගුරුවරියන් නටන චොකා බයිලා හැර පාසල් අධ්‍යාපනයේ වෙනත් හරවත් දෙයක් ගැන තොරතුරු ෂෙයා වන්නේ නැති තරම්ය.

ඊළග කාරණය, රාජ්‍ය සේවය යනු පුළුල් සමස්තයකි. එහි සිටින්නේ ගුරුවරුන්, විදුහල්පතිවරුන් පමණක් නොවේ. විවිධ ශ්‍රේණිවල රාජ්‍ය සේවකයන්ට වැටුප් තල සකස් වන පොදු ක්‍රමවේදයක් තිබේ.

රාජ්‍ය සේවයේ බොහෝ ශ්‍රේණි වැටුප් විෂමතා පිළිබඳ මැසිවිලි නගන අතර, රාජ්‍ය සේවයේ සමස්ත වැටුප් ව්‍යූහයම අවුල් වී ඇත. මෙය විසඳීම අතිශය දුෂ්කර කාර්යයක් වන අතර, සියලු වෘත්තීය සමිති එකට එකතු වී කාටත් පිළිගත හැකි එක් යෝජනාවක් ඉදිරිපත් කරන්නැයි කීවොත් තත්වය බලාගත හැකි වනු ඇත.

වැටුප් සම්බන්ධයෙන් වෘත්තීය සමිති කළ යුතුව තිබෙන්නේ රජය සමග සාකච්ඡා කිරීමයි. විසඳුම් ගවේෂණය කරමින් ඒ වෙනුවෙන් උද්දේශනය කිරීමයි.

ලංකාවේ වෘත්තීය සමිති බොහොමයක් උද්දේශනය හෙවත් ඇඩ්වොකසි ගැන කිසිවක් දන්නේ නැත. ඕනෑම දෙයකට මුලින්ම කරන්නේ වැඩ වර්ජනය කිරීමයි. ගුරු වෘත්තීය සමිති අතර ජවිපෙ බල ව්‍යාපෘතිය බලවත් වීමට පෙර අතීතයේදී ගුරුවරුන් අතර වර්තමානයේ තරම් කඩාකප්පල්කාරීත්වයක් දක්නට ලැබුණේ නැත.

රාජ්‍ය සේවකයන් කටයුතු කරන ආකාරය පිළිබඳ උදාහරණයකින් පෙන්වා දිය හැකිය. ජාත්‍යන්තර මුහුදට මසුන් මරන්නට ගිය ධීවර බෝට්ටුවක ධීවරයන් මුහුදේ පා වුණ බෝතලයක තිබුණු විෂක් මත්පැන් යයි සිතා පානය කර මිය ගොස් ඇත. ගොඩබිම සිටින ඔවුන්ගේ නෑදෑයන් උද්ඝෝෂණය කරන්නේ ද ගුරුවරුන් පරිද්දෙනි. මේ දෙපිරිසම තමන්ගේ වගකීම හරියට නොකර තත්වය විකෘති කරන අතර තමන්ගේ වරද පසෙක තබා ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණය කිරීමට මුල් තැන දෙති. එසේම, රජයේ හැකියාව පිළිබඳ කිසිදු සැලකීමකින් තොරව වහාම බෝට්ටුව හා මළමිනී ගෙනැවිත් දෙන්නැයි ධීවරයෝ උද්ඝෝෂණ කරති. ගුරුවරුන් ද එසේය. රජය ප්‍රමුඛතාව දී තිබෙන්නේ ඉතිරි වී සිටින ධීවරයන් බේරාගැනීමටයි. මේ වන විට බෝට්ටුව ද කාර්මික දෝෂයකට මුහුණ දී ඇති නිසා එය ආපසු ගෙන ඒම පහසු නැත. තමන්ගේ වගකීම ගැන අබමල් රේණුවක හැඟීමකින් තොරව මුහුදේ පාවී ආ බෝතලයකින් වස පානය කළ ධීවරයිනුත්, ඔවුන් වෙනුවෙන් උද්ඝෝෂණය කරන සෙසු ධීවරයිනුත්, වීදි බැස සිටින ගුරුවරුනුත් අතර වෙනසක් තිබේ නම්, ඒ එක දෙයකි.

ඒ වනාහි, මුග්ධ ගුරුවරයා ඉස්සරහට දමා බල ලෝභී දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට කටයුතු කරන ජනතා විමුක්ති පෙරමුණ ගුරු උද්ඝෝෂණ පසුපස කරන කාර්යභාරයයි.

Praja.lk

Social Sharing
අවකාශය නවතම