ඔන්ලයින් හරහා මූල්‍ය ජාවාරම් සිදුකළ ඉන්දීය ජාතිකයන් 60 දෙනෙකු CID අත්අඩංගුවට

indian scarm

මෙරට රැඳීසිටිමින් ඔන්ලයින් හරහා මූල්‍ය ජාවාරම් සිදුකළ ඉන්දීය ජාතිකයන් 60 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ කොච්චිකඩේ, තලංගම හා මාදිවෙල යන ප්‍රදේශවලදීය.

මෙරට තුළ රැඳීසිටින ඉන්දීය ජාතිකයන් පිරිසක් නීතිවිරෝධී අයුරින් ඔන්ලයින් හරහා මුල්‍ය ජාවාරමක් සිදුකරන බවට අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට තොරතුරක් ලැබී තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තලංගම, හීනටිකුඹුර ප්‍රදේශයේ නිවසක් වටලනු ලැබීය.

එහිදී ඉන්දීය ජාතිකයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර, ලැප්ටොප් 9ක් හා ජංගම දුරකතන 59ක් විමර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන තිබුණි.

අනතුරුව මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසක් ද විමර්ශන නිලධාරීන් පරීක්ෂා කර තවත් ඉන්දීය ජාතිකයන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහි තිබී ජාවාරම් සඳහා යොදාගත් පරිගණක 40ක් සහා ජංගම දුරකථන 38ක්ද සොයාගෙන ඇත.

අදාළ නිවස රුපියල් ලක්ෂ 2ක මාසික කුලී පදනම මත ලබාගෙන ඇති බව විමර්ශන නිලධාරීන් සඳහන් කරයි.

එමෙන්ම මාදිවෙල ප්‍රදේශයේ නිවසක් වැටලූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම ජාලයට සම්බන්ධ තවත් ඉන්දීය ජාතිකයන් 13ක් දෙනෙක් අත්අඩංගුවට ගත්තේ ලැප්ටොප් පරිගණක 8ක් හා ජංගම දුරකථන 38ක් සමගිනි.

මොවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, මෙම පිරිස ඉන්දියාවේ තහනම් කරන ලද සූදු අන්තර්ජාල පිටුවක් මෙරට තුළ සිට ක්‍රියාත්මක කර ඇති බවය.

ඊට විවිධ ඔට්ටුකරුවන් විසින් රුපියල් කෝටි ගණනක මුදලක් විවිධ ක්‍රීඩා සඳහා ඔට්ටු අල්ලන බව අනාවරණ වී ඇති අතර, අද දිනයේදී පැවැත්වීමට නියමිත ඉන්දියා එංගලන්ත ක්‍රිකට් තරගයට ද විශාල පිරිසක් ඔට්ටු අල්ලා ඇති බවට විමර්ශන නිලධාරීන් පවසයි.

Social Sharing
නවතම පුවත්