පහර දී තර්ජනය කල සිද්ධියකට හිටපු OICට එක්ලක්ෂ පනස් දහසක් වන්දි ගෙවන්න නියෝග

sarath fonseka

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා 2010 වසරේ ජනාධිපතිවරණයට තරග කරද්දි ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල යෙදී සිටි එක්සත් ජාතික පක්ෂ හක්මණ සම්බන්ධීකරණ ලේකම්වරයාට දත් 3ක් කැඩී ලේ ගලනතුරු පහරදීමක් සිදු කර, වෙඩි තබන බවට තර්ජනය කළ බව කියන සිද්ධිය මඟින් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරමින් එම පහරදීම සිදුකළ බව කියන එවකට හක්මණ පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක කමල් අමරසිංහ මහතාට සිය පෞද්ගලික මුදලින් රුපියල් එක්ලක්ෂ පනස් දහසක (150,000)ක වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කළේය.

එම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂයක (100,000)ක මුදලක් ගෙවන ලෙසට රජයට ද නියම විය.

අදාළ පහර දීමේ සිද්ධිය මඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීරණය කරන ලෙස ඉල්ලා හක්මන එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ ලේකම් කේ. ඒ. හේමසිරි මහතා විසින් ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කර අවසානයේ එහි තීන්දුව ප්‍රකාශ කරමින් මෙම නියෝගයන් කරන ලදි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයිරාජා යන මහත්වරුන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය විසින් මෙම තීන්දුව ප්‍රකාශ කරන ලදි. සෙසු අවස්ථාවල දී මෙන්ම මැතිවරණ නීතිය බලපැවැත්වෙන විටදීත් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්, ජනතාවගේ ගෞරවය ආරක්ෂා කිරීමටත් පොලිසිය බැඳී සිටින බව මෙම තීන්දුව මඟින් අවධාරණය කර ඇත.

හක්මන එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කළ පෙත්සම්කරු 2010 වසරේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රචාරණ කටයුතුවල 2009 වසරේ දෙසැම්බර් 19 වන දින නිරත වී ඇති බව නඩු විභාගයේ දී අනාවරණය වූ බව තීන්දුවෙහි සඳහන් වේ.

එම ස්ථානයට ජීප් රථයකින් පැමිණි වගඋත්තරකාර පොලිස් නිලධාරීන් අලවන පෝස්ටර් පිළිබඳ විමසන අවස්ථාවේ දී හෙට පැවැත්වෙන දේශපාලන රැස්වීම සඳහා පෝස්ටර් අලවන බව දැනුම් දුන් අවස්ථාවේ දී එවකට හක්මණ පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් සිටි පොලිස් පරීක්ෂක කමල් අමරසිංහ, පෙත්සම්කරු ඇතුළු පිරිසට අසභ්‍ය වචනයෙන් බැණ වැදී ඇති බව එහි සඳහන් වේ.

අනතුරුව එහි සිටි පලංගසිංහ නමැත්තාට පොලිස් නිලධාරින් විසින් පහර දී ජීප් රථයට ඇද දැමූ විට ඊට විරෝධය පළ කළ පෙත්සම්කරුගේ මුහුණට පොලිස් ස්ථානාධිපතිවරයා පහර දුන් බව අධිකරණයේ දී අනාවරණය වූ බව එහි සඳහන් වේ.

එහි දී පෙත්සම්කරුගේ කටින් ලේ ගලන්නට වූ අතර සිහිමූර්ඡා වී ඇති බවට කරුණු ඉදිරිපත් වූ බව ද තීන්දුවෙහි දැක්වේ. එම ස්ථානයේ තිබූ පෝස්ටර් තොගය තමන් භාරයට ගැනීමෙන් අනතුරුව පෙත්සම්කරු ඇතුළු පිරිසට වෙඩි තබන බවට තර්ජනය කර වගඋත්තරකරුවන් පිටත්ව ගිය පසු පෙත්සම්කරු ග්‍රාමීය රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව කොළඹ මහ රෝහලට මාරු කර ඇත. අදාළ පහරකෑමට ලක් වීම නිසා පෙත්සම්කරුගේ ඉදිරි දත් 3ක් ඉවත් කිරීමට සිදු වූ බව ද අධිකරණයේ දී අනාවරණය වූ බව තීන්දුවෙහි සඳහන් වේ.

පලංගසිංහ නමැත්තකු අත්අඩංගුවට ගත් නමුත් පෙත්සම්කරු පිළිබඳ කිසිවක් නොදන්නා බවත්, මෙය ගොතන ලද කතාවක් බවත් මෙම පෙත්සමට විරෝධතා ඉදිරිපත් කළ වගඋත්තරකාර පොලිස් නිලධාරීන් සඳහන් කළද එය පිළිගත නොහැකි බවට අධිකරණය තීරණය කර ඇත.

පොලිස් ස්ථානාධිපතිවරයා කළ පහරදීම නිසා පෙත්සම්කරුගේ දත් ඉවත් කිරීමට සිදුවී ඇති බව වෛද්‍ය වාර්තාවේ පැහැදිලිව සඳහන් වී ඇති බව තීන්දුවෙහි සඳහන් වේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේ දී මෙම සිද්ධිය හේතුවෙන් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය ඇති බවට විනිසුරු මඬුල්ල විසින් තීරණය කර ඇත.

එහි දී එම පොලිස් ස්ථානාධිපතිවරයා නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට පෙත්සම්කරුට ඇති මූලික අයිතිවාසිකම උල්ලංඝනය කර ඇති බව එම තීන්දුවෙහි සඳහන් වේ. එවකට හක්මණ පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් සිටි පොලිස් පරීක්ෂක කමල් අමරසිංහ, එම පොලිසියේ පොලිස් කොස්තාපල් ආර්. එම්. ඩබ්ලිව්. කේ. රත්නායක ඇතුළු පිරිසක් මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති. පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා පෙනී සිටියේය.වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා පෙනී සිටියේය. නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගංගා වාකිෂ්ටආරච්චි මහත්මිය පෙනී සිටියාය.

නෙල්කා මැදගෙදර – Dinamina

Social Sharing
නවතම පුවත්