හිරුණිකාට එරෙහි නඩුවේ තීන්දුව ජුනි 28

දෙමටගොඩ වෙළෙඳසලක් තුළ සේවය කරමින් සිටි තරුණයකු බලහත්කාරයෙන් පැහැරගෙන යෑමට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ තීන්දුව ලබන 28 වැනිදා නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (19දා) දින නියම කරනු ලැබුවා.

2015.12.21 වැනිදා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් පිරිසක් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක වූ ඇයට අයත් ඩිෆෙන්ඩර් රථයක් උපයෝගි කරගනිමින් අමිල ප්‍රියංග අමරසිංහ නමැති තරුණයා පැහැරගෙන ගොස් පහර දී තිබුණා.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශන උද්ධෘත සලකා බැලූ නීතිපතිවරයා ඇගේ පෞද්ගලික ආරක්ෂකයන් අටදෙනකුට හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නඩු පවරා තිබූ අතර මුල් අවස්ථාවේදීම සෙසු විත්තිකරුවන් වරද පිළිගැනීම නිසා ඔවුනට දඩ වන්දි හා අත්හිටුවූ සිර දඬුවම් ලබාදීමට මහාධිකරණය නියම කොට තිබුණා.

වරද පිළිනොගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නඩු විභාගයක් පැවැත්වීමට අධිකරණය තීරණය කොට තිබුණේ ඉන් අනතුරුවයි.

එම නඩුව ඊයේ (19දා) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අෂාන් ප්‍රනාන්දු මහතා විවෘත අධිකරණය හමුවේ වාචික දේශන ඉදිරිපත් කරනු ලැබුවා.

  • රොෂාන් වික්‍රමරත්න
Social Sharing
නවතම පුවත්