‘සිස්ටම්’ වෙනස්කිරීම සඳහා එළඹෙන අවස්ථා – ජෙහාන් පෙරේරා

දෙවසරකට පෙර ‘අරගලය’ විරෝධතා ව්‍යාපාරයේ ප්‍රධාන සටන් පාඨයක් වූ ‘පද්ධති වෙනසක්’ සඳහා වූ ඉල්ලීම පැහැදිලිවම බහුවිධ අර්ථයෙන් කියැවුනකි. සොරකම් කළ වත්කම් ආපසු ගෙනඒම, වැරදිකරුවන්ට දඬුවම්දීම සහ දූෂණයට තිත තැබීම ඇතුළු විෂයයන් රාශියකින් එය සමන්විත වේ. විරෝධතා ව්‍යාපාරය සතුව පැවැති සහ අඛණ්ඩව පවතින නව සමාජ ක්‍රමයක් පිළිබඳ මෙම දැක්මෙන් වර්තමාන යථාර්ථය තවමත් බොහෝ දුරස් ය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් මර්ධනය කිරීමට පෙර, අරගලයේ අවසාන අදියරේදී දේපළවලට ගිනිතැබූ අය තවමත් වන්දි ඉල්ලා සිටිති. ඔවුන් විසින් ඉදිරිපත් කරන ඉල්ලීම්, ඔවුන්ට අහිමි වූ ප්‍රමාණයට වඩා බොහෝ වැඩි බව ඒ සම්බන්ධයෙන් කටයුතු කරන රජයේ නිලධාරීහු විශ්වාස කරති.

ජනාධිපති වික්‍රමසිංහ යටතේ ඇති ආණ්ඩුව නව නීති හෝ සංශෝධන වාර්තාගත සංඛ්‍යාවක් සම්මත කර ඇත. පසුගිය වසර දෙක තුළ නව නීති 75ක් පමණ සම්මත කර ඇති බව ආණ්ඩුවේ නායකයෝ පවසති. ආණ්ඩුව ආර්ථිකය සම්බන්ධයෙන්ද නව නීති සම්මත කරමින් සිටී. ඉන් එකක් වන්නේ නව ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතයි. මේ අතර, පාරිසරික බලපෑම් තක්සේරුව පදනම් කර ගනිමින් වසර 20ක කාලයක් සඳහා කිලෝවොට් පැයකට ඩොලර් ශත 8.26ක් ලෙස තීරණය කිරීමට සාකච්ඡා කළ ඉහළ ගාස්තු සහිත දැවැන්ත සුළං බල ව්‍යාපෘතියකට පහසුකම් සපයන විදුලිබල නීතිය සම්මත කර තිබේ. කෙසේවෙතත් පාරිසරික බලපෑම් තක්සේරුව මත ඩොලර් ශත 4.6ක පිරිවැයක් සහ ඉන්දියාවේ පිරිවැය ඩොලර් ශත 3.5ක් ලෙස අනාවරණය වී ඇති මෙම ව්‍යාපෘතිය මගින් මූල්‍ය අලාභයක් සහ පාරිභෝගිකයන් මත දිගුකාලීන බරක් ඇති කළ හැකිය.

මෑතකදී කළ කතාවකදී ජනාධිපතිවරයා පැවසුවේ, “දූෂණය ශ්‍රී ලංකාවේ සැළකිව යුතු ප්‍රශ්නයක් වී ඇති අතර, එයට පිළියම් යෙදිය යුතු ආකාරය ගැන සියලුදෙනා  කතාකරනවා. ඒවා අල්ලාගන්නේ කොහොමද කියලා කවුරුත් කියන්නේ නැහැ. ගැටලුව එයයි. ඒ නිසා මගේ ආණ්ඩුව එකඟතාවකට පැමිණ මේ පිළිබඳව අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර තිබෙනවා. අපට ඔවුන්ගේ උපකාරද අවශ්‍ය වුණා. ඒ අනුව අපි එම ගැටලුව පාලනය කිරීමට විනිශ්චය වාර්තාවක් නිර්මාණය කළා. බොහෝ නීති සම්මත කළ යුතුයි. එකක් සම්මත වෙලා තියෙනවා, දූෂණ මර්දන පනත. දෙවැන්න, අපරාධ නීති සම්බන්ධ ප්‍රතිපාදන. එය දැන් පාර්ලිමේන්තුවට යැවීමට කෙටුම්පත් කරමින් පවතිනවා. සෑමවිටම මෙන් මෙම නීති ක්‍රියාත්මක කිරීම අභියෝගය වනු ඇති අතර, ඒ සඳහා ඉහළම මට්ටමේ දේශපාලන නායකත්වයක් අවශ්‍ය වේ. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ‘පාලන රෝග විනිශ්චය වාර්තාව’ ක්‍රියාත්මක කිරීම දූෂණය අවම කිරීමට ඉදිරි මගක් සපයනු ඇත. එහෙත් ආණ්ඩුව මේ දක්වා ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රමුඛත්වය දී ඇත්තේ වෙනත් ක්ෂේත්‍රවලට ය.

දෙවැනි අවස්ථාව

‘අරගලය’ විරෝධතාවයේදී ඉල්ලා සිටි, ක්‍රමය වෙනස් කිරීමේ දෙවැනි අංගය වූයේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, ආණ්ඩුව සහ ඇත්ත වශයෙන්ම අසාර්ථකවූවන් ලෙස හැඳින්වූ සහ ඊටත් වඩා නරක තක්කඩියන් ලෙස හැඳින්වූ මන්ත්රීවරුන් 225 දෙනාම ගෙදර යැවීමට කරන ලද ඉල්ලීමයි. ඇත්ත වශයෙන්ම එහි පැවැති ඉල්ලීම වූයේ ආණ්ඩුව භාරගැනීම සඳහා නව නායකත්වයක් බලයට පත්කිරීම වෙනුවෙන් නව මැතිවරණ මාලාවක් අවශ්‍යය යන්නයි. විරෝධතා ව්‍යාපාරයට මුහුණදීමේ මූලික උත්සාහයන් අතරට, විරුද්ධ දේශපාලන පක්ෂ සාමාජිකයන් සහ සිවිල් සමාජ නායකයන් (නීතිඥ සංගමය වැනි) ඒකාබද්ධ කරගනිමින් මාස හයක් පමණ ගතවනතුරු ජාතික ආණ්ඩුවක් පිහිටුවා, ආර්ථික තත්ත්වය ස්ථාවර වූ විට මැතිවරණ පැවැත්වීම වැනි යෝජනා ඇතුළත් විය. කෙසේවෙතත්, පාර්ලිමේන්තුවේ ඡන්දයකින් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තේරී පත්වීමෙන් පසු, මෙම විකල්පයන් මේසයෙන් ඉවත් කර, සාකච්ඡා නතර කර ඒවා නොසළකා හරින ලදී.

නව ජනාධිපති ධූරයේ ආරම්භක කාලය තුළ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සහ ජනතාවගේ ආර්ථික යහපැවැත්ම යථා තත්ත්වයට පත්කිරීම පිළිබඳ බලාපොරොත්තුවක් තිබිණි. ඉන්ධන පිරවුම්හල් සහ ගෑස් අලෙවිසැල් ඉදිරිපිට දිගු පෝලිම්වල වේගවත් අවසානය සහ සුපිරි වෙළෙඳසල්වල ආහාර ද්‍රව්‍ය නැවත ගබඩා කිරීම නිසා මිල සාධාරණ මට්ටමට පහළ යනු ඇතැයි යන බලාපොරොත්තු ඇති විය. ආර්ථිකයේ පුනර්ජීවනය සඳහා වියදම්වලට ප්‍රමුඛත්වය දෙන බවට තර්කයක් ඉදිරිපත් කිරීමට මෙම අවස්ථාව යොදාගැනීමට ආණ්ඩුවට හැකිවිය. මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබාදිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් පවා ගණන් නොගෙන පළාත් පාලන මැතිවරණය අවලංගු කිරීමටද මෙය යොදාගැනිණි. ආර්ථික කඩාවැටීම නිසා එය මැතිවරණ කාලය නොවන බවට බොහෝදෙනා ආණ්ඩුව සමඟ එකඟ වන බවක් පෙනෙන්නට තිබූ නිසා මහජන විරෝධයක් ඇති වූයේ නැත.

වසර දෙකකට පසුව මැතිවරණ නොපැවැත්වීමෙන් ආර්ථිකය ආරක්ෂා කිරීමේ මෙම තර්කයට පෙර මෙන් වටිනාකමක් නොමැත. මාස හතරකට අඩු කාලයකින් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බැවින්, ක්‍රමය වෙනස් කිරීමේ වැදගත්ම අංගය දැන් අත ළඟ බවට රට තුළ ප්‍රබල හැඟීමක් තිබේ. රට මෙහෙයවිය යුත්තේ කවුරුන්ද යන්න තීරණය කළ හැකි අවස්ථාවක් ළඟදීම පැමිණේ. මෙම සන්දර්භය තුළ, මැතිවරණ වසර දෙකකට කල්දැමීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම ගැන හෝ ජනමත විචාරණයක් නොමැතිව රජයට අමතර වසරක් සිටීමට ඉඩ සලසන ව්‍යවස්ථාමය හිඩැසක් ඇති බවට ආණ්ඩුවේ නායකයන් ඉදිරිපත් කරන තර්ක ඩයිනමයිට් වැනි ය. මැතිවරණ කල්දැමීමේ ඕනෑම පියවරක් දුරදිග යන ප්‍රතිවිපාක ඇති කළ හැකිය. එවැනි ක්‍රියාමාර්ග මඟින් පද්ධති වෙනස්වීම වළක්වා ගැනීමට ජාතික ආරක්ෂක නීති ප්‍රමාණවත් නොවන බවට විරෝධයක් ඇති කළ හැකිය.

තුන්වැනි අවස්ථාව

පද්ධති වෙනස් කිරීමේ තුන්වැනි අංගය වන්නේ, රටේ බොහෝදෙනාගේ අවධානයට ලක් වූ, එහෙත් මධ්‍යම පාලනයේ අවධානයෙන් ඉවත් වූ එකකි. එනම්, තවමත් රටේ උතුර හා නැගෙනහිර ගැටලුව අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රජාවට ඉතා වැදගත් වේ. ආර්ථික කඩාවැටීම සිදුවූයේ වාර්ගික ජාතිකවාදය උපරිම ලෙස භාවිත කළ ජාතිකවාදී නායකයන්ගේ පාලන සමයේදීය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ශ්‍රී ලංකාව වර්තමානයේ රටේ දිගුකාලීන වාර්ගික ගැටුමට අදාළව මැතිවරණ දේශපාලනයේ ධනාත්මක පරිවර්තනයක් අත්විඳිමින් සිටී. රටට ‘පද්ධති වෙනසක්’ අවශ්‍යය යන මතය ප්‍රවර්ධනය කරන ලද්දේ, ශිෂ්‍ය නායකත්වයෙන් යුත් විරෝධතා ව්‍යාපාරය විසින් ප්‍රසිද්ධියේ ජාතිවාදය මගහැර ඔවුන්ගේ සටන් පාඨ තුළ සමාන පුරවැසිභාවයේ අයිතිවාසිකම් තහවුරු කරමිනි. ශ්‍රී ලංකාව නිදහස ලැබූ දා සිට සහ ආර්ථික අර්බුදයක් ඇතිවීමට පෙර, රටේ නිරන්තර ලක්‍ෂණයක් වූ ජනවාර්ගික ගැටුම තරුණයෝ ආමන්ත්‍රණය කළහ.

එළැඹෙන ඔක්තොම්බර් ජනාධිපතිවරණයේදී වෙනත් කරුණු මත දැඩි ලෙස එකිනෙකා සමග තරග කරන ප්‍රමුඛ අපේක්ෂකයන් තිදෙනා, 13 වැනි සංශෝධනයට සහ පළාත්වලට බලය බෙදාහැරීමට පොදු කැපවීමක් ප්‍රදර්ශනය කිරීමට සමත්ව සිටිති. මෙම තත්වය, වාර්ගික ජාතිකවාදය බොහෝ විට ප්‍රචණ්ඩත්වය අවුලුවාලීමට සහ ඡන්ද ලබාගැනීමට යොදාගත් අතීතයෙන් සැළකිව යුතු ලෙස වෙනස්වීමකි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය යාපනයේ සංචාරයේදී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා තම සහාය ලබාදෙන බව ප්‍රතිඥා දී ඇති අතර, ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ද යාපනයේදී සහ මෑතකදී ලන්ඩනයේ දීද පළාත් සභා ක්‍රමය සමඟ කටයුතු කිරීමට කැපවී සිටින බව ප්‍රකාශ කළේය. ජනාධිපති වික්‍රමසිංහ, විශේෂයෙන්ම මෙම ප්‍රශ්නයට අනුකූලව, බලයට පත්වීමෙන් ටික කලකට පසු පොලිස් සහ ඉඩම් බලතල බෙදාහැරීම වෙනුවෙන් පෙනී සිටියේය.

ජනවාර්ගික ගැටුම විසඳීම සඳහා ද්විපාර්ශ්වික සහ බහු පක්ෂ සම්මුතියක් සාක්ෂාත් කරගැනීම ඓතිහාසික වශයෙන් ශ්‍රී ලංකාවට අභියෝගයක් වී ඇත. ජනවාර්ගික ජාතිකවාදී භීතිකාවන් හසුරුවන දේශපාලන ප්‍රතිවාදීන්ගේ විරෝධය හේතුවෙන් දෙමළ නියෝජිතයන් සමඟ ගිවිසුම් ඇතිකරගත් පසුගිය ආණ්ඩුවේ නායකයන්ට තම පොරොන්දු ඉටුකිරීමට අපොහොසත් විය. දේශපාලන විසඳුමක් වෙනුවෙන් ජාතික සම්මුතියක් ඇති කිරීම සඳහා සිවිල් සමාජයට ද තීරණාත්මක කාර්යභාරයක් ඇත. බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සහ දෙමළ ඩයස්පෝරාවේ කොටස්වල මෑතකාලීන මුලපිරීමක් වන ‘හිමාල ප්‍රකාශය’ විසින් ජනාධිපති අපේක්ෂකයන්ගේ ‘යාපනය ප්‍රකාශන’ වලට අතිරේකයක් ලබා දී ඇත. මෙමගින් නව පරිපාලනයට ආර්ථික අර්බුදය විසඳීමට, සමාජ ආරක්ෂණ දැල් වැඩිදියුණු කිරීමට, රටේ වර්ධන විභවයන් විවෘත කිරීමට සහ පාලනය හා දූෂණ ගැටළු විසඳීම කෙරෙහි අවධානය යොමුකිරීමට හැකියාව ලැබෙනු ඇත. එබැවින් ක්‍රමය වෙනස්කිරීමට ඇති අවස්ථා ප්‍රයෝජනයට ගත යුතුය.

Social Sharing
අවකාශය නවතම විශේෂාංග