ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සමානාත්මතා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය විකෘති – ජනපති

ranil wikramasinhe

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සමානාත්මතා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය  අධ්‍යයනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීම​ට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී රීති ප්‍රශ්නයක් මතු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, අදාල කාරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය විකෘති තීරණයක් බවයි.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇ​ති තීරණය කාන්තාවන්ගේ අයිතිවාසිකම් වලට මෙන්ම බුදුදහම ආරක්ෂා කිරීමටද අභියෝගයක් එල්ල කරන ගැටළු සහගත තීරණයක් බව ජනාධිපතිවරයා සඳහන් කළා.

ජනපති – “ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පත පිළිබඳ තීරණය ඔබ ප්‍රකාශයට පත්කළා නේද?”

කථානායක මහින්ද යාපා අබේවර්ධන – “ඔව්”

ජනපති – “ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ?

කථානායක මහින්ද යාපා අබේවර්ධන –  ඔව්

ජනපති – “එය ඔබ විසින් කියවනු ලැබුවා. මට රීති ප්‍රශ්නයක් යොමු කරන්න අවශ්‍යයි. 4වැනි ව්‍යවස්ථාවට අනුව එමඟින් මෙම සභාවේ බලතල උල්ලංඝනය වනවා. අප ඒ සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත්කළ යුතුයි. 2011 වසරේ සිට කාන්තාවන් සවිබල ගැන්වීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් පවතිනවා. මේවා තිරසාර සංවර්ධන ඉලක්ක පහ සහ අපි අත්සන් තැබූ කාන්තා සම්මුතීන් හා ගිවිසුම්වලට අනුව රජයේ වගකීම් වනවා. සමහරු කියනවා මේවා සමරිසි විවාහවලට ඉඩ සලසන සහ ඒ පිළිබඳ කාරණාවක් කියලා. මෙය ඊට කිසිසේත් සම්බන්ධයක් නැහැ. අපි තේරිම් කාරක සභාවක් පත්කළ යුතු බවටයි මම නිර්දේශ කරන්නේ. ඊට විනිසුරුවන් කැඳවිය යුතු නැහැ. අපි ඒ තරම් දුරට යායුුතු නැහැ. එහි සාමාජිකයින් බහුතරයක් පත්කළ යුතු වන්නේ කාන්තා දේශපාලන බල මණ්ඩලය විසින්.”

Social Sharing
නවතම පුවත්