මහාචාර්ය ඉකොනොමැට්ටා – කරු පරණවිතාන

අපගේ අසල් වැසි නිවසේ සිටින පාසැල් සිසුවියක් දිනක් මගෙන් ඇසුවේ ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීමට පහසු විෂයයක්ද නැද්ද යන්නය. “හරිම ලේසියි… ගිරවෙකුට උනත් ආර්ථික විද්‍යාඥයකු වන්නට පුලුවන්. ඌ දැන ගන්නට අවශ්‍ය ඉල්ලුම හා සැපයුම යන වචන දෙක විතරයි” යනුවෙන් ප්‍රසිද්ධ  ආර්ථික විද්‍යා පොතක තිබූ කියමනක් උපුටා  දැක්වූ  මම එය එතරම් දුෂ්කර විෂයයක් නොවන බව ඇයට පෙන්වා දුන්නෙමි.

නව යොවුන් සිසුවියක් දිරිමත් කිරීම පිණිස මා එසේ පැවසුවද අපගේ දෛනික අද්දැකීම වන්නේ ආර්ථික විද්‍යාව මහා නීරස විෂයයක් බවය. පත්‍ර සගරා සහ විද්‍යුත් නාලිකා වල එන ආර්ථික විශ්ලේෂණ අප කියවන්නේ හා ඒවාට සවන් දෙන්නේ නොකර බැරි නිසාය. මේ විෂය වෙනුවෙන්  ප්‍රකට ජාත්‍යන්තර සඟරාවක් වන The  Economist සඟරාව මා කියවන්නේ එහි එන ආර්ථික විශ්ලේෂණ වලට වඩා එහි එන දේශපාලන විශ්ලේෂණ කියවීමටය. අපගේ උපතේ සිට මරණය දක්වා ජීවිතයේ සෑම අංශකටම සම්මබන්ධ වන ආර්ථිකය නම් ක්‍රියාවලිය පිළිබඳ විග්‍රහ කරන විද්‍යාත්මක  දැනුම මේ තරම් නීරස විෂයයක් වන්නේ  ඇයි ?

මේ ප්‍රශ්නයට තරමක් ඒත්තු යන පිළිතුරක් විජයානන්ද ජයවීර තම “සංවිචාරණීය සමාජයක් ” නම් කෘතියේ ආරම්භයේම සඳහන් කර ඇත.

“ඡන්ද දායක සාමන්‍ය ජනයාට අගෝචර වන තරමට ආර්ථික විශේෂඥයන් ආර්ථික විද්‍යාව අනවශ්‍ය ලෙස සංකීර්ණ කර තිබේ” යනුවෙන් ඔහු පවසයි.

ආර්ථික විද්‍යාඥයන් විසින් සංකීර්ණ කරනු ලැබූ එම විෂයයට එය එතරම් නොහැදෑරූ අය දක්වන්නේ තරමක බියකි. විශේෂයෙන් ආර්ථික විද්‍යාව නොහැදෑරූ දේශපලනඥයන් දක්වන්නේ ඉමහත් බියකි. ඒ නිසා ආර්ථික විද්‍යාව යම් තරමකින් හෝ කට ගා ගන්නා සාමාන්‍ය දේශපාලනඥයකුට වුව අනෙක් අය අභිබවා මහා ආර්ථික විශේෂඥයකු ලෙස අපේ රටේ පෙනී සිටිය හැකිය. උදාහරණ  සැපයීමෙන් වැළකෙමි.

සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක යන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා අතර කරන්නේ යැයි දෙපාර්ශ්වයම එකඟ වූ එම ඊනියා විවාදය කිසිසේත් කෙරෙන්නක් නොව බොරු පූචානම් සහ පුරසාරම් වලින්  අවසන් වන්නක් බව මම නම් ආරම්භයේ සිටම දැන සිටියෙමි. නමුත් ඒ දෙදෙනාගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති කණ්ඩායම් අතර විවාදය ජාතික ජන බලවේගය විසින් මග හැරීම පිටුපස තිබූ ඇත්ත හේතු  මොනවාද යන්න පිලීබදව අවංකවම විමසා බැලීම වැදගත්ය.

මා මේ හෑල්ල ලියුවේ ඉතා සරල ලෙස ආර්ථික විද්‍යා කරුණු පැහැදිලි කළ හැකි මහජන සන්නිවේදනයක් අවශ්‍ය යුගයකට අප අවතීර්ණ වී ඇති බව පෙන්වා දීමටය.මේ අවශ්‍යතාව සපුරමින් සංකීර්ණ ආර්ථික  කරුණු ඉතා සරලව පැහැදිලි කළ හැකි ආර්ථික ලේඛකයෙක් අපට සිටී. ඒ “ඉකොනොමැට්ටාය.”

ඉකොනොමැට්ටා කීවාට මැට්ටකු නොව නියම මීටරයකි. ඒ බව පැහැදිලි කර ගැනීම සඳහා ඉකොනාමැට්ටා නමින් ඔහු ලියන  ඊ කොලම කියවන්නැයි ඉල්ලා සිටිමි.  https://www.facebook.com/Economatta?mibextid=ZbWKwL

මේ ලියන්නේ ඉකොනමැට්ටාගේ පසුබිම් තොරතුරු පිළිබද යමක්ය.

ඉකොනමැට්ටා හෙවත් විදුර තෙන්නකෝන් පාසැල් සමයේ සිට අපගේ මිතුරෙකි. රත්නපුර ඇලෝසියස් විදුහලේ අප උසස් පෙළ ඉගෙන ගන්නා කාලයේ ඔහු ඉගෙන ගත්තේ සීවලී මධ්‍ය මහා විදුහලේය. මා උසස් පෙළට  ආර්ථික විද්‍යාව ඉගෙන ගත් නමුදු ඔහු ඉගෙන ගත්තේ ගණිතයයි. ගණිතය පිළිබඳ වැඩ්ඩකු ලෙස රත්නපුරයේ හැම පාසැලකම විදුරට ප්‍රසිද්ධියක් තිබිණි. උසස් පෙළ සමත්ව කලා උපාධිය හැදෑරීම පිණිස මා 1990 දී කොළඹ සරසවියට ගිය අතර ඉංජිනේරු උපාධිය පිණිස ඔහු පේරාදෙණියට ගියේය. අපි පාසැල් සමයේ සිට මිතුරු කල්ලියක සාමාජිකයන් වුයෙමු.

ඉංජිනේරු උපාධිය හදාරා ටෙලිකොම් ආයතනයේ කලක් වැඩ කළ ඔහු තම විෂය ආර්ථික විද්‍යාව පැත්තට මාරු කරමින් එහිද දස්කම් දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය සහ බැංකු අංශයේ ප්‍රධානියා වී පසුව විදේශ ගත විය.

මේ ශ්‍රී ලාංකික ආර්ථික විද්‍යාඥයා මේ වන විට අමෙරිකා එක්සත් ජනපදයේ ඉන්ඩියානාපොලිස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබද සහකාර මහාචාර්යවරයා ලෙස කටයුතු කරයි.

විදුර යනු ආර්ථික විද්‍යාව සංකීර්ණ කරන්නකු නොව ආර්ථික විද්‍යාඥයන් විසින්ම  සංකීර්ණ කරනු ලැබු විෂයයක් ඉතා සරලව ඉගැන්විය හැකි විද්වතෙකි. ඉකොනොමැට්ටා නමින් ඔහු සිංහල බසින් ලියමින් සිටින ලිපි මාලාව එයට කදිම නිදසුනකි. ඒ ලිපි කියවන විට ඔහු අමෙරිකාවේ සිට ලියන බවක් අපට නොදැනේ.මට දැනෙන්නේ මේ කුරුවිට දෙල්ගමුවේ සිටි අපේ විදුරයා බවමය!.ඒ තරමට  ලංකාවේ සිදුවන ඕනෑම ලොකු කුඩා සංසිද්ධියක්ම ඔහු උනන්දුවෙන් නිරීක්ෂණය කරයි. මහාචාර්ය නලින්ද සිල්වාගේ අභාවය පිළිබද ඔහු ඉතා වැදගත් සටහනක් ලියා තිබෙනු දුටුවෙමි.

දැණුමට අමතරව නිර්මණාත්මක  ලෙඛනය පිළිබද ඔහු කුඩා කල සිටම දැක්වුවේ දස්කමකි. මා නව කතා කරුවකු වන්නට වෑයම් කළ කාලයේ (මේ ගැන කලින් ලියා ඇත) ඔහු  කෙටිකතා කරුවකු වන්නට උත්සාහ කළේය. අභ්‍යාස පොතක අතින් ලියන ලද කෙටි කතා සංග්‍රහයක් “මේක කියවලා බලපන් ” යැයි දිනක් මට දුන්නේය. එහි ‘රිචඩි බාප්පා’ නමැති විශේෂ කෙටි කතාවක් තිබිණි. එය ජේ. ආර් ජයවර්ධන මහතා රට භාරගත් පසු රට තුළ සිදු වූ මහා පරිමාණ ආර්ථික සංස්කෘතික හා සමාජ විපර්යාසය රෑපකාර්ථවත් කළ කදිම කතාවකි. එකල එම වයසේ සිටි කෙනෙකුට එවන් සාර්ථක කකාවක් ලිවිය හැක්කේ කෙසේදැයි මම අද කල්පනා කරමි. මා එවැනි හැකියාවක් දුටු අනෙක් තැනැත්තා නම් අප සරසවියට පැමණි පළමු වසරේදීම මානව භක්තිය හා සිත්තරා නමින් කෙටි කතා සංග්‍රහයක් පළ කළ ලියනගේ අමරකීර්තිය.

කෙසේ වෙතත් විදුරගේ එම  කෙටිකතා පොතට කුමක් වූයේදැයි මම නොදනිමි. එම ලේඛකයා යටකර දමමින් ඉංජිනේරුවකු සහ ආර්ථික විද්‍යා මහාචාර්යවරයකු මතුවිය.

එසේ වුවද විදුරගේ ආර්ථික ලියවිලි වල ඇත්තේද අර කෙටිකතාවල තිබු රසයම බව මට දැනෙයි. (කුඩා ළමයකු කාලයේ සිටිම ලියූ ඔහුගෙ පළමු ජනමාධ්‍ය ලිපිය මිහිර පත්‍රයේ පළ තර තිබු ආකාරය මේ ළඟදී ප්‍රසිද්ධ කර තිබුණි)

– Karu Paranawithan – මුහුණු පොතෙනි,

Social Sharing
අවකාශය නවතම විශේෂාංග