රාජ්‍ය නොවන සංවිධාන පාලනය සදහා නිසි බලධාරියෙකු පැමිණීමට නියමිතයි…! – රුකී ප්‍රනාන්දු

1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණය කිරීමේ පනත ඉවත්කර රජය විසින් ගෙන ඒමට නියමිත නව පනතේ අරමුණ රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කිරීම බව නව කෙටුම්පතේ පුර්විකාවේම සදහන් වී ඇති බවත්, ඒ සදහා නිසි බලධාරියෙකු පත්කිරීමට නියමිත බවත් සිවිල් සමාජ ක්‍රියාකාරී රුකී ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ 2024 ජුනි 16 වන දින සිවිල් හා රජ්‍ය නොවන සංවිධාන ජාතික එකතුව විසින් මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් හමුවී සිදු කළ සාකච්ඡාවකදීය. රජ්‍ය නොවන සංවිධාන සම්බන්ධව රජය විසින් ගෙනඒමට නියමිත නව පණත පිළිබදව දැනුවත් කිරීමත්, ප්‍රාදේශීය සංවිධාන නියෝජිතයින්ගේ අදහස් ලබා ගැනීමත් සදහා සිවිල් හා රජ්‍ය නොවන සංවිධාන එකතුව විසින් රට පුරා පවත්වාගෙන යනු ලබන සාකච්ඡා මාලාවේ අට වැන්න පසුගිය ජුනි 16 මාතර ගගඅද්දර හෝටලයේ දී පැවැත් විය. මෙම සාකච්ඡාව සදහා සිවිල් හා රාජ්‍ය නොවන සංවිධාන එකතුවේ කැදවුම්කාර මණ්ඩලය නියෝජනය කරමින් පිලිප් දිසානායක මහතා ද සහභාගී විය.

මෙහි දී රුකී ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, මෙම පනත තුළින් රජය හා සිවිල් සංවිධාන අතර රේඛාව බොද දැමීමක් සිදු කර ඇති බවත්, දැනට ක්‍රියාත්මක 1980 අංක 31 දරණ පනතේ තිබූ මූලික හරයන් නව පනත් කෙටුම්පතෙන් ඉවත් වී ඇති බවත්, රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීම නව පනණතේ මූලි අරමුණ වී ඇති බවත්ය. රජය විසින් ගෙන ඒමට නියමිත නව පනත පිළිබදව පොදු නිරීක්ෂණය කිහිපයක් පිළිබදව මෙහි දී ඔහු අවධාරණය කළාය.

  • රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලුම ස්වේච්ඡා සමාජ සේවා සංවිධානවල ක්‍රියාකාරකම් කාර්යක්ෂමව නියාමනය කිරීම පනත් කෙටුම්පතේ අරමුණු බව පූර්විකාවේ සඳහන් වේ. මෙය එවැනි කණ්ඩායම්වල වැඩ සඳහා සහාය දීම, පහසුකම් සැලසීම සහ ප්‍රවර්ධනය කිරීම වෙතින් වෙනස් වේ.
  • මෙම පනත් කෙටුම්පත මගින් සංවර්ධන සංවිධාන, අධ්‍යාපන ආයතන, පුණ්‍යායතන, ආයතනික සමාජ වගකීම් පදනම්, මානව හිමිකම් සංවිධාන, පර්යේෂණ ආයතන, දේශපාලන චින්තන ටැංකි ඇතුළු සියලුම රාජ්‍ය නොවන කණ්ඩායම් සහ ක්‍රියාකාරකම් කෙරෙහි  පුළුල් දැලක් විහිදුවන බවත්, සංවිධාන පාලනය කිරීමට, සීමා කිරීමට සහ මැදිහත් වීමට උත්සාහ කරන අතර සමහර අවස්ථාවල තෝරාගත් ක්‍රියාකාරකම් සහ සංවිධාන තහනම් කිරීමට මීට හැකියාව ඇති බවයි.
  • අනිවාර්ය ලියාපදිංචිය අවිධිමත්, ස්වේච්ඡා සාමූහික නීතිමය පිළිගැනීමෙන් ඉවත් කරයි. පුරවැසියන්ට ඕනෑම ආකාරයක සමාගමයට නිදහස තිබිය යුතු අතර යම් ක්‍රියාකාරකමක් නීති විරෝධී බව තහවුරු වූ විට හෝ සැක සහිත වූ විට පමණක් සීමා කිරීම් අදාළ විය හැකිය. යෝජිත පනත් කෙටුම්පත මඟින් පුළුල් සංවිධාන පරාසයක් ආවරණය වන පරිදි සියලුම රාජ්‍ය නොවන ක්‍රියාකාරකම් නියාමනය කිරීමට උත්සාහ කරයි. පරිපාලනමය වශයෙන් ඇතැම් කණ්ඩායම් සහ ක්‍රියාකාරකම් අඩපණ කරනු ඇත.
  • ලියාපදිංචිය, අධීක්ෂණය සහ නියාමනය දේශපාලනික වනු ඇත. නිසි බලධාරියා අමාත්‍යවරයා විසින් පත් කිරීමෙන් සහ රෙගුලාසි සැකසීමට අමාත්‍යවරයාට බලය ලබා දීමෙන් දේශපාලන බලපෑමට නතු වී ඇත. පවතින රජයට වඩා වෙනස් අදහස් සහ මතවාදයන්ට සහාය නොදක්වන සංවිධාන සීමා කරනු ඇත. ජාතික ආරක්ෂාවට අගතියක් වන බවට සහ මෙම පනතට හෝ වෙනත් නීතියට පටහැනි ක්‍රියාකාරකම්වල නිරත වීම පිළිබඳ බැලූ බැල්මට පෙනෙන සාක්ෂි මත රාජ්‍ය නොවන සංවිධානයක් අත්හිටුවීමට නිසි බලධාරියාට බලය ඇති අතර ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධානවලට ‘කිසිදු දේශපාලන කටයුත්තක’ නොයෙදීමේ යුතුකමක් ඇත. මෙය වෙනත් ආකාරයකින් සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල ක්‍රියාකාරකම් සඳහා සාමූහිකව සංවිධානය වීමට කැමති පුරවැසියන්ගේ සමාගමයේ සහ ප්‍රකාශනයේ නිදහස කප්පාදු කිරීමකි.
  • නිසි බලධාරියාට ඇතුළුවීමට සහ සෙවීමට, වැරදි විමර්ශනය කිරීමට සහ නඩු පැවරීමට පොලිස් බලතල සහිත බලය ලබාදේ. පනත් කෙටුම්පත මඟින් වරෙන්තුවකින් තොරව ඇතුළුවීම සහ පරිශ්‍රයක් පරීක්ෂා කිරීමට බලය දීම, පවතින නීතිය යටතේ අධිකරණ අධීක්ෂණය යටතේ පමණක් මැදිහත් විය හැකි භෞතික නිදහසට සහ පෞද්ගලිකත්වයට ඇති අයිතිවාසිකම්වලට බාධා කිරීම් වේ. වැරදි විමර්ශනය කිරීමට අධිකාරියට බලය ලබා දී ඇති අතර, ලියාපදිංචි නොවීම සහ තොරතුරු ලබා නොදීම වැනි පරිපාලනමය ක්‍රියාවන් සම්බන්ධයෙන් වැරදි ලැයිස්තුවක් නිර්මාණය කර ඇත.
  • රාජ්‍ය නොවන සංවිධානවල නිර්වචනය පුළුල් ය. ප්‍රජා මූලික කණ්ඩායම්වල සිට විශාලතම ජාතික සහ ජාත්‍යන්තර සංවිධාන දක්වා ලියාපදිංචි වීමට අවශ්‍ය වේ. මෙයට සමාජ සේවා, සමාජ සුබසාධනය, සම්මුතිය ගොඩනැගීම, උපදේශනය සහ සිවිල් සමාජය ශක්තිමත් කිරීම වැනි කටයුතුවල නියැලෙන්නන් ඇතුළත් වේ. ආගමික ආයතන, වෘත්තීය සමිති, සමුපකාර වැනි ලියාපදිංචි කිරීමට අවශ්‍ය නොවන රාජ්‍ය නොවන සංවිධාන කෙරෙහි නිසි බලධාරියාට බලය තිබීම ද කෙටුම්පත අදහස් කරයි.

මේ පනත් කෙටුම්පත පිළිබදව සාකච්ඡාවේ දී මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නොවන සංවිධාන එකතුවේ ප්‍රධානීන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ,

  • රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය සදහා නිසි බලධරයෙකු පත් කිරීමට කිසිසේත් ඉඩ දිය නොහැකි බවත්, ඒ තුළින් අපගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමට නියමිත බවයි. එමෙන්ම, එම පත්වීම අනිවාර්යෙන් දේශපාලන පත්වීමක් වීමට නියමිත බවයි.
  • එවැනි ව්‍යුහයක් අවශ්‍ය වන්නේ නම්, ඒ සදහා සුදුසු ක්‍රියා පටිපාටියක් මත සුදුසුකම් සහිත මණ්ඩලයක් පත්කළ යුතු බවත්, එම මණ්ඩලය සදහා සිවිල් සමාජ නියෝජිතයින් ද ඇතුලත් කළ යුතු බවයි.
  • රාජ්‍ය නොවන සංවිධාන පාලන සදහා දේශාපාලන මැදිහත්වීමෙන් තොර ස්වාධීන ව්‍යුහයක් අවශ්‍ය බවයි. එමෙන්ම, දැනට තිබෙන එක්වරක් පමණක් ලියාපදිංචිය තව දුරටත් අවශ්‍ය බවත්, රාජ්‍ය නොවන සංවිධාන කල් ඉකුත්වීමේ ක්‍රමයක් අවශ්‍ය නොවන බවත්, නැවත නැවත ලියාපදිංචියට කිසිසේත් එකග විය නොහැකි බවයි.
  • සංවිධාන අභ්‍යන්තරයේ ඇති වන ගැටළු සම්බන්ධව පවතින නිසි බලධාරියාගේ මැදිහත්වීමට එකග නොවන බවත්, සංවිධාන අභ්‍යන්තර ප්‍රශ්ණ සදහා මැදිහත්වීමට සංවිධාන ව්‍යවස්තාව අනුව කටයුතු කිරීමට බලය පැවරී තිබෙන නිසා එම ඒ ඒ සංවිධානයන්ට අදල වන ගැටළු විසදා ගැනීමට ඔවුන්ට නිදහස තිබිය යුතු බවත් ප්‍රකාශ විය.

මෙම සාකච්ඡාව අවසනයේ, සිවිල් හා රජ්‍ය නොවන සංවිධාන මුහුණ දෙන ගැටළු පිළිබදව කටයුතු කිරීම සදහා මාතර දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරමින්  අට දෙනෙකුගෙන් සමන්විත ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගනු ලැබීය. එම කමිටුව විසින් ක්‍රියාකාරී සැලැස්මක් සැකසීමටත්, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මුණගැසී මේ පිළිබදව ඔවුන් සමග සාකච්ඡා කිරීමටත්, අනෙකුත් මාතර දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන මේ සම්බන්ධව දැනුවත් කිරීමටත්, පුළුල් ප්‍රචාරක වැඩසටහනක් සකසා ඒ අනුව මේ පිළිබදව දිස්ත්‍රික්කය තුළ පුළුල් ප්‍රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කෙරිණි.

Social Sharing
නවතම පුවත් විශේෂාංග