ආර්ථික ප්‍රකෘතියට වඩාත්ම හානියක් වන අස්ථාවරත්වය වන්නේ මැතිවරණවල අවිනිශ්චිතතාවයි – ජෙහාන් පෙරේරා

පෙට්‍රල් සහ ගෑස් පෝලිම් පහව ගොස් ඇති නමුත් ආර්ථික සංඛ්‍යා ලේඛන අඳුරු චිත්‍රයක් පින්තාරු කර තිබේ. රටේ විදේශීය ණය, ආර්ථික කඩාවැටීමට පෙර මෙන්ම අඛණ්ඩව ඉහළ යමින් පවතී. වසර දෙකකට පෙර ආර්ථික අර්බුදය ඇති වූ විට, විදේශ ණය තොගය පැවැතියේ ඩොලර් බිලියන 80ක කලාපයක විය. ප්‍රවෘත්ති වාර්තාවලට අනුව, ඇතැම් සාර්ව ආර්ථික ක්‍රියාමාර්ගවල (උද්ධමනය වැනි) ආන්තික වැඩිදියුණු කිරීම් මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ණය දැන් ඩොලර් බිලියන 100 දක්වා වැඩි වී ඇති අතර, තෝරාගත් ණය සඳහා නොගෙවූ වාරික මුදල් පොලී ප්‍රමාණයද ඇතුළුව ඩොලර් බිලියන 6.4 ඉක්මවයි. මෙය රටට අවාසියකි. මෙම දත්ත පෙන්නුම් කරන්නේ පසුගිය වසර දෙක තුළ රටේ මූලික ව්‍යුහයන් වෙනස්වී ඇත්තේ සුළු වශයෙන් බවයි. රටත්, රජයත්, තමන් උපයන මුදලට වඩා වැඩියෙන් වියදම් කරන අතර, ජීවිතය ගැටගසා ගත හැක්කේ පිටරටින් ණය ගැනීමෙන් පමණි.

2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික සහ වාණිජ ණය හිමියන්ගේ බාහිර ණය සඳහා ආපසු ගෙවීම් අත්හිටුවීමෙන් පසු, නොගෙවූ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4.5කට ආසන්නව ඉහළ ගොස් ඇති අතර, පසුගිය වසර අවසන් වන විට නොගෙවූ පොළී ප්‍රමාණය ඩොලර් බිලියන 2 දක්වා ඉහළ ගොස් ඇත. පසුගිය වසරේ විදේශ සංවර්ධන හවුල්කරුවන් සහ ණය දෙන ආයතන සමඟ ගිවිසුම් 16ක් අත්සන් කිරීමෙන් රජයට ඩොලර් බිලියන 2.12කට වැඩි විදේශ ප්‍රතිපාදන ලැබිණි. කෙසේවුවද, මේ සියල්ලම පාහේ, ඇමරිකානු ඩොලර් බිලියන 2.02 ආපසු ගෙවිය යුතු ණය ස්වරූපයෙන් පැමිණි ප්‍රතිපාදන වේ. 2022 දී සියයට 7.3 කින් හැකිළීමෙන් පසු රටේ ආර්ථිකය පසුගිය වසරේ සියයට 2.3 කින් හැකිළී ගියේය. මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 2ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති නමුත් ආදායම් මට්ටම වසර දෙකකට පෙර පැවැති මට්ටමට වඩා අඩු මට්ටමක පවතිනු ඇත. එය එන්න එන්නම දුෂ්කර වීමක් ප්‍රදර්ශනය කිරීමකි. ලෝක බැංකුව නිර්දේශ කර ඇත්තේ “ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ප්‍රමාණවත් තරම් ගැඹුරු ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමක් අවශ්‍ය” බවයි.

ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධානීන් දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ, රට පෙර පරිදි ආර්ථික වශයෙන් ප්‍රකෘතිමත් කර ඉදිරියට ගෙන යෑමට නම් දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍ය බවය. දේශපාලඥයන් පමණක් නොව ආර්ථික විද්‍යාඥයන් ද එයම කියති.  අවාසනාවකට ඉහත සංඛ්‍යාලේඛන පෙන්වාදෙන පරිදි වත්මන් රජය යටතේ රට අත්විඳිමින් සිටින බව කියන ආර්ථික ප්‍රගතිය පිළිබඳ සාක්ෂි සීමිතය. ආර්ථිකයේ සමහර අංශ, විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය ඉතා හොඳින් ක්‍රියාත්මක වේ. එහෙත් කුඩා පරිමාණ නිෂ්පාදන වැනි අනෙකුත් අංශ විශාල දුෂ්කරතාවන්ට මුහුණ දී සිටී. මහා පරිමාණ ආයෝජන ද සිදුනොවන තරම් වන අතර, මන්නාරම සුළං බල ව්‍යාපෘතියේ දී මෙන් ඒවා පැමිණෙන තැන්වල දී ද, ඒවායේ කොන්දේසි රටට බෙහෙවින් අවාසිදායක බව පෙනීයයි.

 

නීත්‍යානුකූල නොවන ආණ්ඩුවක්

ආණ්ඩුව මැතිවරණයක් පවත්වන්නේද නැත්ද යන්න, පොළවල්වල, සුපිරි වෙළෙඳසල්වල, යහළුවන් සහ සගයන් සමඟ කෑම බීම ගන්නා සෑම තැනකම කතාබහට ලක්වන අතර, මැතිවරණවල අනාගතය පිළිබඳව ශ්‍රී ලංකාව තුළ පවතින්නේ අවිනිශ්චිතභාවයකි. රට ‘හෑල්ලු කරන’ අවිනිශ්චිතතාව වන්නේ මෙයයි. මේ වන විටත් මැතිවරණ දෙකක් ප්‍රමාද කර ඇත. වසර පහකට අධික කාලයක් පළාත් සභා මැතිවරණයද, වසරක කාලයක් පළාත් පාලන මැතිවරණයද ප්‍රමාද කර ඇති අතර, ආණ්ඩුවේ නායකයන්ගේ වචනවලින් හා පොරොන්දුවලින් මිස ඒවා පවත්වන බවක් පෙනෙන්නට නැත. මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය අනෙකුත් මැතිවරණ සඳහා වේදිකාව සකසනු ඇතැයි අපේක්ෂා කරන අතර, එසේ වුවහොත් ශ්‍රී ලංකාව ආර්ථික අභියෝගයට මුහුණදෙන විට පවා ප්‍රජාතන්ත්‍රවාදීව ස්ථාවර වනු ඇත.

පසුගිය වසර දෙක තුළ රට නිල වශයෙන් බංකොලොත් වී ඇති අතර, අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රමුඛ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහනක මූලික අදියරයන් හරහා රට යමින් සිටින බැවින්, බොහෝ ණය ආපසු ගෙවීමේ ගැටළුවක් පවතී. අවසානයේ රට ණය ගැතියන් සමඟ එකඟත්වයකට පැමිණි විට, දැනට නොගෙවන එම ණය ගෙවීමට සිදුවනු ඇති අතර, මහජනතාව මත ඇති බර තවත් නරක අතට හැරෙනු ඇත. නිදහස් හා සාධාරණ මැතිවරණවලදී මහජනතාව විසින් නීත්‍යානුකූලව ඡන්දය දෙනු ලබන රජයක් විසින් මෙම ගැටළු විසඳීම සඳහා මැදිහත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ වන විට රට තුළ පවතින දේශපාලන අවිනිශ්චිතභාවය මැතිවරණ නිසා ඇති වූවක් නොව, මැතිවරණයක් නොපැවැත්වේ යැයි පවතින අවිනිශ්චිතතාව නිසා උද්ගත වූවකි. දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමට අවශ්‍ය බැවින් මැතිවරණ නොපැවැත්වීම යනු, අශ්වයාට ඉදිරියෙන් කරත්තය තැබීමකි. සියලුම ප්‍රජාතන්ත්‍රවාදී රටවල මැතිවරණ පවත්වනු ලැබේ. එංගලන්තය දෙවැනි ලෝක සංග්‍රාමයේ මැදද මැතිවරණයක් පැවැත්වූ අතර, දශක තුනක යුද්ධයේදී සහ රජය පෙරළා දැමූ කැරැල්ලක් මධ්‍යයේ ද ශ්‍රී ලංකාව ද එසේ කළේය. මැතිවරණ යනු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක දී ක්‍රියාත්මක වන දෙයක් වන අතර, රටේ සෑම දෙයක්ම සකස්කළ යුත්තේ මැතිවරණ වටා මිස එහි අනෙක් පසට අනුව නොවේ. අද ශ්‍රී ලංකාව තුළ දේශපාලන අවිනිශ්චිතභාවයක් ඇතිවීමට හේතුව වන්නේ නියමිත මැතිවරණය ඇත්ත වශයෙන්ම පවත්වන්නේ දැයි කිසිවකු නොදන්නා බැවිනි.

 

නියමිත කාලයට පෙර මැතිවරණ

ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයක් සහ ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය අවශ්‍ය වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥයන් පෙන්වා දී ඇත. ජනාධිපතිවරයා මහජන ඡන්දයෙන් තේරී පත්වූ අයෙකු නොවන බැවින්, තම ධුර කාලය දීර්ඝ කර ගැනීමේදී ජනාධිපතිවරයාගේ නීත්‍යානුකූලභාවය තවත් අවදානමකට ලක්ව ඇති බව ද ඔවුහු පෙන්වා දෙති. ජනතාව විසින් තෝරා පත්කර ගන්නා ලද ජනාධිපතිවරයකු මෙන් නොව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31 (ඊ) ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ, පාර්ලිමේන්තුවෙන් තේරී පත්වන ජනාධිපතිවරයකුට ධූර කාලයේ වසර හතරකට පසු, ඉක්මන් මැතිවරණයක් කැඳවිය නොහැකි බවයි. ආණ්ඩුවට සිය ආයු කාලය දීර්ඝ කර ගැනීම සඳහා ජනමත විචාරණයක් වෙනුවෙන් බලපෑම් කිරීමට අපහසු බව ද ප්‍රායෝගික තත්වයන් පෙන්වාදෙයි. විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා වත්මන් ජනාධිපතිවරයාට වඩා ඉදිරියෙන් සිටින බව මහජන මත විමසුම් නිරන්තරයෙන් පෙන්වා දී ඇත. එබැවින් ජනමත විචාරණයකදී බහුතර ඡන්දදායකයන් මැතිවරණ කල්දමා ආණ්ඩුවට දීර්ඝ කාලයක් ලබාදීමට ජනතාව කැමති නොවනු ඇතැයි අනුමාන කළ හැකිය.

2022 දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකින් ජනාධිපති වූ විට, එවකට පැවැති විශේෂ තත්ත්වය මත එවකට පැවැති විරෝධතා ව්‍යාපාරය මර්දනය කර අක්‍රිය කිරීමට ඔහුට හැකිවිය. ආර්ථික තත්ත්වය දරුණු වූ අතර වීදි විරෝධතා ජනතාවට අතපසු විය. අද පවතින තත්වය සාමාන්‍ය ලෙස පෙනෙන හිඟයක් නොමැති පරිසරයක් වුවද, 2022 දී ආර්ථිකය සියයට 7 කින් සහ 2023 දී සියයට 2 කින් හැකිළීම නිසා බොහෝ මිනිසුන්ට 2022ට වඩා ආර්ථික වශයෙන් පීඩා විඳීමට සිදුව ඇත. රටේ පිරිහෙමින් පවතින දේශපාලන හා ආර්ථික තත්ත්වය දැඩි අවධානයට ලක්විය යුතු කරුණක් වන අතර, ආත්මාර්ථකාමීත්වයට මුල්තැන නොදෙන සහ ජාතික අවශ්‍යතාවලට මුල්තැන දෙන නායකත්වය විසින් එයට ඉහළම ප්‍රමුඛත්වය දිය යුතුය.

එසේම, සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ප්‍රතික්ෂේප කරන ආණ්ඩුවක මර්දනයකට ජනතාව එකඟ වනු ඇතැයි සිතිය නොහැක. ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීම ආරම්භ කිරීම සඳහා ණයහිමියන් සමඟ එකඟතාවකට පැමිණීමෙන් පසු, වඩාත් නරක අතට හැරෙන විදෙස් ණය සමඟ සාර්ථකව කටයුතු කිරීමට ජනතාවගේ ඡන්දය ලබාදෙන නීත්‍යානුකූල පාලනයක් අවශ්‍ය වේ. මේ තත්ත්වයන් තුළ මහජනතාවට ප්‍රතිලාභ ලැබෙන ආර්ථික ප්‍රකෘතියක් සඳහා ප්‍රමුඛත්වය දිය යුතුය. මැතිවරණ කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදීව නීත්‍යනුකූල නොවනවා පමණක් නොව, එය දේශපාලන අවිනිශ්චිතභාවයක් ඇති කර, ආර්ථිකයට ප්‍රතිලාභ ලබාදෙන ආයෝජකයන් පළවාහරින මහජන විරෝධයක් ද ජනනය කරනු ඇත. එමනිසා ආණ්ඩුව ගතයුතු හොඳම ක්‍රියාමාර්ගය වනුයේ, ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ඉක්මනින් ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිසම සමඟ එක්ව කටයුතු කර දේශපාලන අවිනිශ්චිතභාවය අවසන් කිරීමයි.

 

Social Sharing
අවකාශය ආර්ථික නවතම