ජාතික ක්‍රිකට් කණ්ඩායම මෑත කාලයේ මුහුණ දුන් දැඩි පසුබෑම සහ ක්‍රිකට් පරිපාලනයේ ගැටලු නිරාකරණය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලැබූ කැබිනට් අනු කමිටුවේ නිර්දේශයට අනුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුතු සය පුද්ගල කමිටුව සකස් කළ ක්‍රිකට් නව ව්‍යවස්ථා පනත් කෙටුම්පතට විනිවිදභාවයකින් යුතු ක්‍රිකට් පරිපාලනයක් සඳහා අතිශය වැදගත් නිර්දේශ රැසක් ඇතුළත් බව වාර්තා වේ.
පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයාට භාර දෙනු ලැබූ එම පනත් කෙටුම්පතට අනුව ක්‍රිකට් ආයතනය සඳහා 18 දෙනකුගෙන් සමන්විත ක්‍රිකට් නිලධාරි මණ්ඩලයක් පත් කිරීමටද, සභාපතිවරයා ඇතුළු ප්‍රධානතම නිලතල 9ක් සඳහා සාමාජිකයන් පත් කිරීම ඡන්දයකින් තොරව සිදු කිරීමට ද නිර්දේශ කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
එම තනතුරු සඳහා පත්වන පුද්ගලයන්ගෙන් පස්දෙනකුම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කළ හිටපු ක්‍රීඩකයන් විය යුතු බවත්, සෙසු සිව්දෙනා විවිධ ක්ෂේත්‍රවලින් තෝරා පත් කරගත යුතු බවත් ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා පනත් කෙටුම්පතින් නිර්දේශ වී ඇති අතර, ඔවුන් පත් කිරීමේ බලය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාට, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපතිවරයාට, වරලත් ගණකාධිකාරී ආයතනයේ සහාපතිවරයාට සහ නම් කරනු ලබන තවත් පුද්ගලයකුට පැවරිය යුතු බවට ද නිර්දේශ කර ඇතැයි වාර්තා වේ. මීට අමතරව ක්‍රිකට් නිලධාරී මණ්ඩලය සඳහා පත්වන සෙසු සාමාජිකයන් 9 දෙනා තෝරාගැනීමේ බලය පමණක් ක්‍රිකට් ක්‍රීඩා සමාජ වෙත ලබා දිය යුතු බවට ද නිර්දේශ වී ඇතැයි වාර්තා වේ.
පසුගිය වසරේ සැප්තැම්බරයේ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති ආසියානු කුසලාන ඕවර 50 තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඉන්දියාව හමුවේ ලකුණු 50කට දැවී යෑම, නොවැම්බර් මාසයේ ඉන්දියාවේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේ අන්ත පරාජය සහ පසුගියදා අමෙරිකාවේ දී විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන් ඉවතට විසිවීම ඇතුළුව මාස 9ක කාලය ඇතුළත ජාතික ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර තරගාවලි තුනක දී දරුණු පසුබෑමකට ලක්වූ අතර, ජනාධිපතිවරයාගේ උපදෙස් මත ක්‍රිකට් අර්බුදය සොයා බැලීමට විදේශ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ සභාපතිත්වයෙන් සහ විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර, කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර සහ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් යුතු කැබිනට් අනු කමිටුවක් පත් කරනු ලැබුවේ පසුගිය වසරේ අගභාගයේදීය. අනතුරුව ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලු පාර්ශ්වවලින් කරුණු සොයා බලා නිර්දේශ 40ක් ඇතුළත් පිටු 46ක වාර්තාවක් කැබිනට් අනුකමිටුව විසින් මේ වසරේ ජනවාරි මුල දී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබීය. පසුගිය පෙබරවාරියේ අමාත්‍ය මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු සයපුද්ගල කමිටුව පත් කරනු ලැබුවේ එම කැබිනට් අනුකමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගෙනය.
ජාතික පිරිමි හා කාන්තා කණ්ඩායම් ඇතුළු විවිධ මට්ටම්වල ක්‍රීඩකයන්ගේ පරිපාලනය, පුහුණුව හා සමස්ත යහපැවැත්ම පිළිබඳ යෝජනා කිහිපයක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය හා ව්‍යූහය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවධානයත් යොමු කරමින් සකස් කර ඇති එම පනත් කෙටුම්පත ජනාධිපතිවරයා වෙත භාර දීමේ අවස්ථාවට එම කමිටුවේ සභාපති කේ.ටී. චිත්‍රසිරි මහතා සමඟ සාමාජිකයන් වන ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර, නීතිඥ ආචාර්ය අරිත්ත වික්‍රමනායක, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව, නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ සහකාර නීති කෙටුම්පත් සම්පාදක ශමිලා ක්‍රිෂාන්ති මහත්ම මහත්මීහු ද සහභාගි වූ බව වාර්තා වේ. එම අවස්ථාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති සහකාර ලේකම් (අමාත්‍ය මණ්ඩල කටයුතු) සමිත් තලකිරියාව මහත්වරු ද එක්වී සිටි බව මේ පිළිබඳ ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයක සඳහන් වේ.