සති දෙකක් පමණ “චීන මහා අග්නි-ප්‍රාකාරය (Great Firewall of China)” ඇතුළේ හිර වෙලා ඉඳලා සමාන්තර ලෝකයට නැවත ආවත් පහු ගිය සති දෙකේ සමාන්තර ලෝකයේ සිදු වුනු දේවල් පිළිබඳව යාවත්කාලීන වෙන්න තවත් දවසක් දෙකක් යයි. මහා අග්නි-ප්‍රාකාරය ඇතුළේ ලෝකය ඇස් දෙකෙන්ම හරියට බලා ගන්න සහ අත් විඳින්න ලැබීමේ වාසිය එක්ක බලන කොට ඒක ලොකු පාඩුවක් නෙමෙයි.
ආපහු හිටපු ලෝකයට එන කොට ලංකාවට IMF දෙවන වාරිකය ලැබිලා. පළමු කාර්තුවේ හොඳ ආර්ථික වර්ධන වේගයක් සටහන් වෙලා. ඔය අතරේ මිහිර පත්තරයේ අවසන් මුද්‍රිත කලාපයත් නිකුත් වෙලා.
මිහිර පත්තරේට මට වඩා අවුරුදු හතරක් පහක් පමණ වයසයි. එහෙම බැලුවොත් පවුලේ ලොකු අයියෙක් වගේ. අපේ පවුලේ ලොකු අයියා මම නිසා මට ලොකු අයියෙක් ගැන අත්දැකීම් නැහැ. සමහර විට පවුලේ ලොකු අයියෙක් ගැන කෙනෙකුට දැනෙන විදිහ මිහිර පත්තරේ ගැන මට දැනෙන විදිහට සමාන වෙන්න පුළුවන්.
මම හිතන්නේ මම මුලින්ම මිහිර පත්තරේ කියවන්න පටන් ගන්න ඇත්තේ එහි හත් වන වෙළුමේ පමණ සිට විය යුතුයි. ඒ කියන්නේ ආසන්න වශයෙන් 1973 වගේ කාලයක සිට. වයස අවුරුදු හතරක් පමණ වුවත් ඒ වෙද්දී මට හොඳින් කියවන්න පුළුවන්. ඒ වගේම කියවන්න ලොකු කැමැත්තකුත් තිබුණා. මටම ලැබුණු මිහිර පත්තරේට අමතරව “සිළුමිණ” වගේ ලොකු අයගේ ලොකු පත්තරත් කියෙවුවා. මිහිර පත්තරේනම් අකුරක් නෑරම වගේ කියෙවුවා.
ඒ දවස් වල මිහිර පත්තරයක මිල ශත පණහක් පමණ විය යුතුයි. හැම සඳුදා දවසකම පත්තරේ ලැබුණා. කියවලා ඉවර කරන්න දවසක් ඇති වුනත් ඉතිරි දවස් වල කරන්නත් ප්‍රහේලිකා පුරවන එක වගේ වැඩ තිබුණා. සිත්තර පත්තරේ වෙළඳපොලට එන කාලය වෙන කොට අපේ ගෙදරින් මා වෙනුවෙන් සතිපතා මිහිර පත්තරේ මිල දී ගන්නවා.
වසර කිහිපයකට පසුව සිත්තර පත්තරේ බලන එක පවා මට ගෙදරින් තහනම් වුනත්, පත්තරේ මුලින්ම එන කොට එහි කුඩා ප්‍රමාණය සහ චිත්‍රකතා පත්තරයක් වීම වගේ හේතු නිසා එහි මුල් කලාප කිහිපයද මා වෙනුවෙන් අපේ ගෙදරින් මිල දී ගත්තා. සති කිහිපයකට පසුව මේ පත්තර දෙක අතරින් එකක් තෝරා ගැනීමේ අවස්ථාව මට ලැබුණා. මගේ තේරීම වුනේ මිහිර. ඒ වෙද්දී මම මේ පත්තරේට වගේම කියවීමටත් ඇබ්බැහි වෙලා හිටපු නිසා රූප පත්තරයකට වඩා මට ආකර්ශනීය වුනේ කියවන්න දේවල් වැඩිපුර තිබුණු මිහිර පත්තරයයි. මෙය මගේ ජීවිතයේ මුලින්ම කරපු වැදගත් තේරීමක් විය යුතුයි.
මිහිර පත්තරේ සම්බන්ධව මුලින්ම ඇති වුනු හැඟීම යාළුවෙක් පිළිබඳ හැඟීමක් වගේ එකක් විය යුතුයි. මේ යාලුවා හැම සතියකටම වරක් අලුත් මුහුණුවරකින් ගෙදරට එනවා. ඒක ටිකක් සම වයසක යාළුවෙක් ගැන තිබෙන හැඟීම වගේ එකක්.
මිහිර පත්තරේ සම්බන්ධව මුලින්ම ඇති වුනු මේ හැඟීම වෙනස් වුනේ 1978දී පමණ. ඒ වෙද්දී මම හිටියේ හතරේ පන්තියේ. සතිපතා මිහිර පත්තරේ අකුරක් නෑරම වගේ කියෙවුවත් ඒ වැඩේට දවසකට වඩා නොගිය නිසා කියවීමේ පිපාසය සංසිඳවන්න මිහිර පත්තරේ ප්‍රමාණවත් වුනේ නැහැ. ඔය අවුරුද්දේ නිවාඩු කාලය ගත කරන්න මගේ මවගේ මහ ගෙදර ගිගින් නැවතිලා ඉඳිද්දී දවසක් සොල්දරයට නැගලා එය ගවේෂණය කරද්දී ලොකු නිධානයක් හමු වුනා. ඒ තමයි මිහිර පත්තරේ පළමු වෙළුමේ පළමු කලාපයේ ඉඳලා ගොඩ ගසා තිබුණු විශාල පත්තර අට්ටියක්.
මිහිර පත්තරේ සම්බන්ධව තිබුණු සම වයසේ යාළුවෙක් වැනි හැඟීම වෙනස් වෙලා මට වඩා වැඩිමල් ලොකු අයියෙක් වගේ දැනෙන්න පටන් ගත්තේ ඔය නිධානය හමු වීමත් එක්ක. මේ නිධානය පිරික්සද්දී මා දැන සිටි බට කොළ ආච්චිගේ, බූ හා බබාගේ, යෝදයාගේ හා රාළාමිගේ, මම නොදැන හිටපු අතීතයකුත් මට හමු වෙනවා. මුල් කාලයේ පත්තරයක මිල ශත විසිපහක් පමණ විය යුතුයි. ඒ වගේම පත්තරේ නිකුත් කරලා තියෙන්නේ පසු-පෝය දින වල. ඒ දවස් වල සති අන්තය පෝය හා පෙර පෝය දවස්නේ.
මම හිතන්නේ අපි ලෝකය තේරුම් ගන්න හා අවබෝධ කර ගන්න සාමාන්‍ය ආකාරයත් මේ වගේ කියලා. අපට මුලින්ම හා පහසුවෙන්ම ග්‍රහණය වෙන්නේ අපට අත් විඳිය හැකි වර්තමානය. වර්තමානය ගලා යන වේගයට අපිවත් ගහගෙන යනවා. ඔය අතර අපි නොදන්නා අතීතයක් ගැන අපිට වරින් වර අහම්බයෙන් දැන ගන්න ලැබෙනවා. ඒ අතීතය ගවේෂණය කරන්න ආශාවක් ඇති වෙනවා. නමුත් මේ විදිහට තේරුම් ගන්න අතීතය අපිට දැනෙන විදිහ අපේම කල් පසුවූ වර්තමානය අපිට පසුව දැනෙන විදිහට සමාන නැහැ.
කාලයක් ජීවත් වෙද්දී අපේම වූ අත්දැකීම් වැඩි වැඩියෙන් එකතු වෙනවා. ඒ වගේම අපේම අත්දැකීම් නොවූ අතීතය හාරා අවුස්සා බලන්න අවස්ථාවන්ද වැඩි වැඩියෙන් ලැබෙනවා. ඒ නිසා, වයසට යන තරමට සිද්ධීන් වලින් කම්පනයක් ඇති වෙන්නේ අඩුවෙන්. අලුතෙන් අත් විඳින්න ලැබෙන ගොඩක් දේවල් අමුතු දේවල් නෙමෙයි.
මිහිර පත්තරේ මුද්‍රණය කරන එක නවත්වන බව දැන ගන්න ලැබීම විශාල කම්පනයක් ඇති කරවන දෙයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැහැ. අපේ ජීවිත කාලය තුළ වරින් වර හමු වූ, සමීප වූ, බොහෝ දේවල් වලට තව දුරටත් ඒ තිබුණු පැවැත්ම නැහැ. සමීපව සිටි සමහර අය මිය ගිහින් ගොඩක් කල් වුනත් ඒ බව කල් පසු වී අහම්බෙන් දැන ගන්න තුරු අපේ ලෝක වල තව දුරටත් ජීවත් වෙනවා. තවත් අය මිය ගිය බව වහාම දැන ගන්න ලැබුණත්, යම් කාලයක් එවැනි කෙනෙක් සමීපව ඇසුරු කළ බව මතකයට එන්නෙත් ඒ පුවතත් එක්ක. ඒක අපේ සාපේක්ෂ ලෝක වල ඒ අය කලින්ම මිය යාමකට සමානයි. මගේ ලෝකය ඇතුළේ මිහිර පත්තරේ වැටෙන්නේ දෙවන ගොඩට.
සමහර අය කියන විදිහට පසුකාලීනව මිහිර පත්තරේ ටියුෂන් පත්තරයක් බවට රූපාන්තරණය වී තිබෙනවා. මේ යුගය ගැන මට එතරම් මතකයක් නැහැ. මම හිතන්නේ මෙය සිදු වී තිබෙන්නේ මිහිර පත්තරේ එක්ක තිබුණු මගේ සම්බන්ධය කැඩුනට පස්සේ.
අසූව දශකයේ මැද භාගය වෙද්දී අපේ වයසේ ගොඩක් අය එක පාරටම “ලොකු වුනා”. රටේ හා ලෝකයේ දේශපාලනය ගැන වඩා සංවේදී වෙද්දී මිහිර පත්තරේ වගේ ළමා ලෝකයට අයිති දේවල් එක්ක සම්බන්ධය කැඩුනා. මිහිර පත්තරේ කියා කියන්නේ ඒ වයසේදී මග හැරුණු ලොකු අයියෙක්.
කොහොම වුනත් මම ලියපු දෙයක් මුලින්ම මුද්‍රිත අකුරෙන් පළවුනේ මිහිර පත්තරේ බව මතක් වුනේ වෙනත් අයෙකු විසින්ද ඊට සමාන දෙයක් සටහන් කර තිබෙනු දුටු පසුවයි. ඒ 1981දී. එතකොට හිටියේ හතේ පන්තියේ. ඒ වන විටත් විවිධ තරඟ විභාග ආදිය ජයගෙන පත්තර වල කිහිප වරක්ම නම පළ වී තිබුණත්, ලියපු දෙයක් පත්තරේ පළ වී තිබෙනු දැකීම වෙනස්ම අත්දැකීමක්. පසුකාලීනව දිවයින අටවෙනි පිටුවට හා විශේෂාංග අතිරේකයට මාරු වෙන තුරු වැඩිපුරම ලිවුවේ මිහිර පත්තරේටයි.
ඒ දවස් වල පත්තරයකට ලියනවා කියන එකත් අමුතුම කට්ටක්. අතින් ලියලා තැපෑලෙන් පත්තරේට යැවුවට පස්සේ එය පළ වුනාද කියා දැනගන්න වෙන්නේ පත්තරය බලලම තමයි. හැබැයි මිහිර පත්තරේ වගේ පත්තර වලට ලියපු අයට හොඳ සම-අවස්ථාවක් ලැබුණා කියලා මම හිතනවා. මේ සමඟ පළ කරන “වෙළඳපොළක්” ලිපිය මම ලියපු එකක් නෙමෙයි. මගේ ලිපියක් පළ වූ නිසා එකතු කර තියාගත් පත්තරයක පළව තිබුණු එවක පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යාවකගේ ලිපියක්. මම දන්නා කෙනෙක් නෙමෙයි. නමුත් දැන් සමහර වැඩිහිටි අය වෙළඳපොළ ගැන කියන දේවල් එක්ක බැලුවහම ඊට වඩා හොඳ රචනාවක්.
මගේ ඇන්ටික් කඩේ අඩු වශයෙන් මම ලියපු ලිපි පළ වූ පත්තර සියල්ලම හෝ නැහැ. කිහිපයක් පමණයි තියෙන්නේ. මිහිර පත්තරේ කියන්නේ මගේ ඇන්ටික් කඩයේ කොටසක් පමණයි. ඒ නිසාම, මිහිර පත්තරේ මරණය කියන්නෙත් ඇන්ටික් කඩයක මරණයක් පමණයි. හැබැයි මේ වගේ ඇන්ටික් කඩ නඩත්තු කළේ නැත්නම් අපිටත් පැවැත්මක් කියා දෙයක් නැහැ. ජීවත් වෙනවා කියා කියන්නෙම ඇන්ටික් කඩ නඩත්තු කිරීමක්.