ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව කියමින් ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ ඉන්දියාව යන දකුණු ආසියාතික රටවල සමාජ මාධ්‍ය වේදිකා පරිශීලකයන් අනිසි ලෙස වාරණයට ලක්වන බව ලර්න් ඒෂියා ආයතනය, ඉන්දියාවේ දිල්ලි ජාතික නීති විශ්වවිද්‍යාලය සහ බංග්ලාදේශයේ බ්රැක් විශ්වවිද්‍යාලයේ ඒකාබද්ධ වාර්තාවක් මඟින් පෙන්වා දී ඇත. ජාතික ආරක්ෂාව මුවාවෙන් සමාජ මාධ්‍යයේ වාරණය ක්‍රියාත්මක වන බවත් ඒ ඔස්සේ අන්තර්ජාල ප්රකාශනයන් සීමා කර ඇති බවත් එමඟින් විවිධ ගැටලු ඉස්මතු වී ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.
එසේම මෙම කලාපයේ රටවල විධායකයට බලය කේන්ද්‍රගත කිරීම නිසා විනිවිදභාවය අවම වී ඇති බවත් සහ වගවීමේ ඌනතාවක් නිර්මාණය කර ඇති බවත් එම වාර්තාව මඟින් පෙන්වා දී ඇත. මේ අනුව රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ කාරණා ඉස්මතු කරමින් සමාජ මාධ්‍යයේ වාරණය සාධාරණීකරණය කර ඇති බවද එම වාර්තාව පෙන්වා දී ඇත.
“සමාජ මාධ්‍ය නියාමනය සහ නීතියේ ආධිපත්‍යය – ඉන්දියාව, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව සම්බන්ධ ප්‍රධාන ප්රවණතා” මැයෙන් වාර්තාවක් කොළඹදී පසුගියදා (21දා) එළිදැක්වූ අතර එහිදී ඔවුන් සමාජ මාධ්‍ය නියාමනය සඳහා වූ නිර්දේශ කිහිපයක්ද ඉදිරිපත් කළේය. වාර්තාව එළිදක්වන අවස්ථාව සඳහා නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජේයෂ්ඨ පර්යේෂක සහ නීතිඥ භවානි ෆොන්සේකා, හෑෂ්ටැග් ජෙනරේෂන්හි උපදේශන ප්‍රධානී සාරිතා ඉරුගල්බණ්ඩාර, ලර්න් ඒෂියා පර්යේෂණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි හෙලානි ගල්පාය, දිල්ලි ජාතික නීති විශ්වවිද්‍යාලයේ සන්නිවේදන ආණ්ඩුකරණය පිළිබඳ මධ්‍යස්ථානයේ වැඩසටහන් කළමනාකරු ටවිෂි අහුල්වාලියා, බංග්ලාදේශයේ බ්රැක් විශ්වවිද්‍යාලයේ නීති පාසලේ ජේයෂ්ඨ කථිකාචාර්ය සයිමන් රේසා ටලුක්ඩර් යන පිරිස එක්ව සිටියහ.
සචිත්ර පෙරේරා – මව්බිම
අදාල වාර්තාව…
file:///E:/DRIVE%20(E)/Acts%20&%20Reports/2024/Social%20Media%20Report%20-%20Learn%20Asia.pdf