ඩයනාට ලබා දුන් මන්ත්‍රී ධූරය අල්ලසක්ද? පක්ෂ මාරුවට මන්ත්‍රී ධූර අල්ලස් ලබා දීම ජනසම්මතවාදයද?

මෑතකදී සම්මත කරගත් දූෂණ මර්දන පනතට අනුව අල්ලසක් යනු එම පනතේ තුන්වන කොටසේ යම් විධිවිධානයක් උල්ලංඝනය කරමින් යම් තුටු පඬුරක් පිරිනැමීම අයැදීම හෝ භාර ගැනීම වේ.

තුටු පඬුරක් යන්නට යම් ධූරයක්, රැකියාවක් හෝ කොන්ත්‍රාත්තුවක් ලබා දීම ද ඇතුළත් බව එම පනත කියයි.

ඩයනා ගමගේ මහත්මිය පිළිබඳ ජනතාව දැනගත්තේ මෑතකදීය. ඇය අප නොදන්නා වුවද සමගි ජන බලවේගයට ඡන්දය ලබා දුන් ඡන්ද දායකයන් නොදන්නවා වුවද සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස ඇය පසුගිය මහා මැතිවරණයෙන් පසුව දිවුරුම් දෙන ලදී. පක්ෂයේ නායක හා සභාපතිගේ අනුදැනුම ඇතිව පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගේ අත්සනින් ඇගේ නමද මැතිවරණ කොමිසම වෙත යොමු කොට තිබුණි.

සමස්තයක් ලෙස මන්ත්‍රීවරුන් 29ක් ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට හැකියාව තිබෙන අතර දේශපාලන පක්ෂ ලබා ගත් සමස්ත ඡන්ද ප්‍රමාණය අනුව එකී ආසන 29 බෙදී යයි. පක්ෂ ගණනාවක සන්ධානයක් ලෙස මැතිවරණය සදහා තරග වැදුනු සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තුවෙන් ලැබුනේ මන්ත්‍රී ආසන 7ක් වැනි සුළු ප්‍රමාණයක් පමණි. මෙය සුළු ජාතික පක්ෂ ඇතුළත් සන්ධානයකින් තරග වැදි පක්ෂයකට මන්ත්‍රී වරුන් පත් කිරීමේදී ඉතාම අසීරු තත්වයකි. සියළු සුළු පක්ෂ සදහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන එකක් හෝ ලබා දෙන බවට පොරොන්දු වී මැතිවරණයට ඉදිරිපත් වුවද එකී පක්ෂ සදහා මන්ත්‍රී ආසන ලබා දීමේදී ගැටලුකාරී තත්වයක් මතුවන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන ප්‍රමාණයෙන් ඉතා සුළු ප්‍රමාණයක් ලැබුණු විටය.

පසුගිය මහා මැතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ද විශාල වශයෙන් ලබා දුන්, විශේෂයෙන් ඔහු ඉදිරිපත් වූ ජනාධිපතිවරණයේදී ඔහුට යම් ඡන්ද ප්‍රමාණයක් ලබා දීමට වැඩි වැඩ කොටසක් කරමින් සිය ඡන්ද බලප්‍රෙද්ශ සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ජයග්‍රහණය කරවා දුන් රාවුෆ් හකීම් මහතාගේ මුස්ලිම් කොන්ග්‍රසයට රිෂාඩ් බදුයුදීන් මහතාගේ සමස්ත ලංකා ජනතා කොන්ග්‍රසයට හෝ වෙනත් කිසිදු සුළු පක්ෂයකට එකදු ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනයක් ලබා දීමට කටයුතු නොකර සජිත් ප්‍රේමදාස මහතා ඩයනා ගමගේ මහත්මිය හට මන්ත්‍රී ධූරයක් දීමට පසුබට නොවීය.

රංජිත් මද්දුමබණ්ඩාර, හරීන් ප්‍රනාන්දු, බාකිර් මාකර්, මයන්ත දිසානායක, තිස්ස අත්තනායක, එරාන් වික්‍රමරත්න යන සජබ ප්‍රබලයන් අතර ඩයනා ගමගේද විය.  සුළු ජාතික පක්ෂ නියෝජිතයකු හට අවස්ථාවක් නොදුන් සජිත් ප්‍රේමදාස මහතා ඩයනා ගමගේ මහත්මියට මන්ත්‍රී ආසනයක් ලබා දීමට තරම් කාරුණික විය.

ඩයනා ගමගේ මෙතරම් වැදගත් ඇයි?

ඩයනා ගමගේ මහත්මියට මන්ත්‍රී ආසනයක් ලබා දීම සුළු ජාතික පක්ෂයක නියෝජිතයකු පත් කිරීමටත් වඩා සජිත් ප්‍රේමදාස මහතාට වැදගත් වුනේ ඇයි? අපේ ජාතික පෙරමුණ එතුමා වෙනුවෙන් ලබා දීම වෙනුවෙන් අපේ ජාතික පෙරමුණේ ලේකම්වන සජබ ඡන්ද දායකයන්වත් නොදන්නා   ඩයනා ගමගේ වෙනුවෙන් ලබා දුන් තුටු පඬුර එයද?

එය දූෂණ මර්ධන පනතේ තුටු පඬුර යන අර්ථ නිරූපණයට වැටෙන බව අපගේ අදහසයි. මේ ධූරය ලබා දී හා ලබා ගෙන ඇත්තේ සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඡන්ද දායකයන් සමග ඇති කරගත් සම්මුතියට එකගව නොවේ. මේ ධූරය පැහැදිලිවම කිසිදු ජන පදනමක් නොමැති නමුත් ස්වාමි පුරුෂයා හා භාර්යාව පවත්වාගෙන ගිය පක්ෂයක් සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා දීම වෙනුවෙන් ලබා දුන් තුටු පඬුරක් බව බැලූ බැල්මට පෙනී යයි.

සජිත් ප්‍රේමදාස පැහැදිලි කල යුතුයි.

එය එසේ නොවන්නේ නම් සජිත් ප්‍රේමදාස මහතා විසින් ඩයනා ගමගේ මැතිණිය පාර්ලිමේන්තුවට පත් කිරීම සම්බන්ධයෙන් ඔහුට ඒ මොහොතේ පෙනී ගිය වැදගත්කම කුමක්දැයි රට හමුවේ පැහැදිලි කළ යුතුය. සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇය අපිව රැවැට්ටුවා යැයි මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ජුගුප්සාජනක ලෙස හැසිරෙන්නේ නඩු තීන්දුවෙන් උද්දාමයට පත් වී වුවද අපට අසන්නට ඇත්තේ ඩයනා ගමගේ මහත්මියගේ නම මැතිවරණ කොමිසමට යොමු කළේ ඔබලාට කිසිදු ලැජ්ජාවක් නැති නිසා නොවේද යන්නයි. උදේ සිට මගේ සදාදරණිය ජනතාව යැයි කෑ මොර දුන්නද තමන්ට එම මැතිවරණයේදී ඡන්දය ලබාදුන්  2,771,988 සමග කිසිදු සම්මුතියක් සජිත් ප්‍රේමදාස මහතාට නොමැති නිසා නොවේද ඩයනා ගමගේ මහත්මියට මන්ත්‍රී අසුන පිරිනැමුවේ? තමන්ට ජනාධිපතිවරණයේදී ජාමෙ බේරා ගැනීමට ඡන්දය ලබා දුන් සුළු ජාතික නියෝජිතයන් සතපහකට ගණන් නොගෙන ඩයනා ගමගේට අවස්ථාව දුන්නේ තම සභාගයේ පක්ෂ පිළිබඳවත් සජිත් ප්‍රේමදාස මහතාට කිසිදු සම්මුතියක් නොමැති නිසා නොවේද. සජිත් ප්‍රේමදාස මහතා නිරන්තරයෙන් ප්‍රකාශ කරන ජනසම්මතවාදය මෙයද?

ලංකාවේ පක්ෂ ලියාපදිංචිය

ලංකාවේ දේශපාලන පක්ෂ ඕනෑ තරම් ඇත. එහි කිසිදු වරදක් නැත. නමුත් දේශපාලන පක්ෂ වෙන්දේසියේ යොදවන මේ ක්‍රමය නවතා දැමිය යුතුය. මැතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක දේශපාලන පක්ෂ ලියාපදිංචි කල නොහැකිය යන නීතිය ආචීර්ණ කල්පිත නූතනයට නොගැලපෙන නීතියකි. අද වන විට මහජන අභිලාෂ විවිධ වන අතර ඒවා මැතිවරණයෙන් මැතිවරණයටද කාලයෙන් කාලයටද ඉතා ඉක්මනින් වෙනස් වෙයි. විවිධ කණ්ඩායම් සංවිධානගත විය යුත්තේ සහ වන්නේද මැතිවරණ සමයකදීය. ඔවුන්ට එහිදී දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමේ අවස්ථාව තිබිය යුතුය. දේශපාලඥයන්ගේ විවිධ තැරැව්කරුවන් විසින් ඇටවූ මෙවන් පක්ෂ ගණනාවක් ලංකාවේ ඇති නමුත් මහපොළොවේ දේශපාලනය කරන තරුණයන්ට දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම අසීරුය. පැතුම් කර්නර්ගේ දේශපාලන පක්ෂය ලියාපදිංචි කිරීමට සැලකිය යුතු කාලයක් ගත වීම උදාහරණයක්.

ඉහත දක්වන ලද ආකාරයට පක්ෂ වෙන්දේසි කරමින්, පක්ෂ ප්‍රදානය කරමින්, පක්ෂයේ තනතුරු ප්‍රදානය කරමින් තුටු පඬුරු ලෙස මන්ත්‍රී ධූර ලබා දීම හා ගැනීම නමැති අපට පෙනෙන අල්ලස නිවාරණයට දූෂණ මර්දන පනත ප්‍රමාණවත්ද ? මෙම පනතේ තුන්වන කොටසේ අල්ලස් වැරදි සදහන් වුවද සෘජුව මෙම කරුණ පිළිබඳ සදහන් නොවේ. නමුත් යම් ධූරයක් ලබා ගැනීමේ අරමුණින් පොදු ජනයාගේ පරමාධිපත්‍ය බලය අභ්‍යාස කිරීමට පිහිටුවා ගන්නා ලද පක්ෂයක නිලතල මාරු කිරීම හෝ පොදු ජනයාගේ පරමාධිපත්‍ය බලය අභ්‍යාස කිරීමට පිහිටුවා ගන්නා ලද පක්ෂයක නිලතල මාරු කිරීම වෙනුවෙන් රජයේ ධූරයක් ලබා දීම තුළ අල්ලස් වරදක් බැලූ බැල්මට පෙනී යයි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය බලය පිහිටා ඇත්තේ ජනතාව වෙතය. ව්‍යවස්ථාදායක බලය ඉන් එක් කොටසක් වන අතර එය පාර්ලිමේන්තුව මගින් ක්‍රියාත්මක කරයි. ඡන්ද බලය ද පරමාධිපත්‍යයේ කොටසකි. පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තු නියෝජිතයන් ඇතුළු සියළු නියෝජිතයන් පත් වන්නේ ඡන්ද බලය මගිනි. දේශපාලන පක්ෂ නායකයන් මේ සෙල්ලම් කර ඇත්තේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය සමගය. ජනතාවගේ පරමාධිපත්‍ය බලය සෘජු ලෙසම ක්‍රියා කරන ආයතනයක ධූරයන් අල්ලස් මත ලබා දෙන්නේ නම් එය ජනතා පරමාධිපත්‍යය වෙන්දේසියේ දැමීමකි.

නීතිඥ දුලාන් දසනායක

Social Sharing
නවතම පුවත් විශේෂාංග