පොරොන්දු වූ පරිදි මාර්ගගත ආරක්ෂණ පනතට අවශ්‍ය සංශෝධන කඩිනමින් ක්‍රියාත්මක කරනු!

මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර දිනය සමරන මෙම අවස්ථාවේදී, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට රජය දුන් පොරොන්දුව කඩිනමින් ඉටු කරන ලෙස අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය ඉල්ලා සිටියි. ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන නිර්දේශ නොසලකා හැරීම සම්බන්ධයෙන් මතභේද සහ විවේචන මධ්‍යයේ, 2024 ජනවාරි 24 වැනි දින මුලදී සම්මත වූ 2024 අංක 9 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත, අපගේ මාධ්‍යවේදීන්ගේ ඩිජිටල් ප්‍රකාශනය මත දිගින් දිගටම තර්ජන එල්ල කරමින් තිබේ.

මෙම ගැටලු විසඳීම සඳහා අවශ්‍ය සංශෝධන සිදු කිරීම සඳහා පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දුන්නද, අප තවමත් එහි ප්‍රගතියක් දුටුවේ නැත. මෙය සිදු වන්නේ, Reporters Sans Borders ආයතනයේ මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයෙහි ශ්‍රී ලංකාවේ ස්ථානය 2023 දී 135 වැනි ස්ථානයේ සිට 2024දී 150 වැනි ස්ථානය දක්වා සැලකිය යුතු ලෙස නරක අතට හැරී ඇති පසුබිමකය. මෙම කැපී පෙනෙන පරිහානිය ආපසු හැරවීම සඳහා හදිසි ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවට මෙය පැහැදිලි දර්ශකයකි.

මාධ්‍යවේදීන්ට පළිගැනීම්වලට හෝ හානිවලට බියෙන් තොරව සිය තීරණාත්මක රාජකාරිය ඉටු කිරීමට හැකිවන පරිදි මෙම නීතිය නිවැරදි කිරීම සඳහා වහා ක්‍රියාමාර්ග ගන්නා ලෙස අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය අවධාරණය කරයි.

මාධ්‍ය නිදහස අපගේ ප්‍රජාතන්ත්‍රවාදයෙහි අත්තිවාරමක් වන අතර මානව හිමිකම් පවත්වා ගැනීම සඳහා තීරණාත්මක වන බැවින් එය කොන්දේසි විරහිතව ආරක්ෂා කළ යුතුය.
– අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ

Social Sharing
නවතම පුවත්