කොල්ලුපිටිය ප්‍රදේශයේදී කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිදුවීමට අදාළව පොලිස් සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් වංචා විමර්ශන කාර්යාංශයට අනුයුක්තව සේවයේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකරන ලද විමර්ශනයකට අනුව සැකකාර පොලිස් සැරයන්වරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පවසන්නේ සැකකාර සැරයන්වරයා කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවය.
ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් ලෙස ලබාගත් පුද්ගලයින් සිව්දෙනෙක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණි.
කොල්ලුපිටියේ පිහිටි නිවසක් පරීක්ෂාකර පැමිණිලිකරුට අයත් රුපියල් 12,000,000ක් හා ඩොලර් 3,500ක් අදාළ සැකකරුවන් විසින් රැගෙන ගොස් ඇති බව වාර්තාවෙයි.
ඒ පැමිණිලිකරුට විරුද්ධව විමර්ශනයක් පවතින බව සඳහන් කරමින්ය.
පසුව අදාළ සැකකරුවන් පැමිණ එම නිවසේ සේවය කරමින් සිටි ඉන්දියානු ජාතිකයාගේ විදේශ ගමන් බලපත්‍රය රැගෙන ගොස් ඇත.
ඉන් අනතුරුව පැමිණිකරුට දුරකථනයෙන් ඇමතුමක් ලබාදී ඔහුට විරුද්ධව විමර්ශනයට උදව් කිරීමට සහ රැගෙන යන ලද විදේශ ගමන් බලපත්‍රය නැවත ලබාදීමට රුපියල් කෝටි 4ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබේ.
පසුව එම මුදල කෝටි 3 හමාරක් දක්වා අඩුකර මුල් කොටස ලෙස රුපියල් කෝටියක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇත.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙලෙස අත්අඩංගුවට ගත් සිව්දෙනාගෙන් කළ ප්‍රශ්නකිරීම්වලට අනුව සැකකාර පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර සැකකරුවන් විසින් රැගෙන ගොස් ඇති බව සඳහන් රුපියල් 12,000,000ක මුදලින් රුපියල් ලක්ෂ 16ක මුදලක් පොලීසිය විසින් සොයාගැනීමට සමත්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.