ශුභ සූර්ය මංගල්යයක්!

ගෙවුණු මැදින් අමාවක පෝය දවස (අප්‍රේල් 8) සුවිශේෂී දවසක්. ඒ ජීවිතයේ පළමු වරට පූර්ණ සූර්යග්‍රහණයක් නිරීක්ෂණය කළ හැකි වූ නිසා. අවුරුදු එකහමාරකට පමණ වරක් පෘථිවියේ කොහේ හෝ තැනක සිට පූර්ණ සූර්යග්‍රහණයක් නැරඹිය හැකි වුනත්, යම් නිශ්චිත තැනකට පූර්ණ සූර්යග්‍රහණයක් පෙනෙන්නේ සියවස් එකහමාරකට පමණ වරක්. ඒ වගේම, මේ කාලාන්තර විශාල ලෙස විචලනය වන පරාසයක ආසන්න සාමාන්‍ය අගයයන් පමණයි.

මෙම පූර්ණ සූර්යග්‍රහණය වැඩි මහන්සියක් නැතිව ගෙදර සිටම නිරීක්ෂණය කළ හැකි වුනා. එය අපූරු අත්දැකීමක්. මීට වසර හතකට පෙර 2017දීද ඇමරිකාවට පෙනුණු පූර්ණ සූර්යග්‍රහණය තිබුණා. පැය පහක හයක ගමනකින් පසු එය නිරීක්ෂණය කළ හැකිව තිබුණත්, අදාළ දිනයේ තිබුණු වැඩ රාජකාරි නිසා එය කළ හැකි වූයේ නැහැ. ඒ නිසා, තවත් අවුරුදු හතක් බලා ඉන්න වුනා. 2017 සූර්යග්‍රහණය නිවසට පෙනුණේ අර්ධ සූර්යග්‍රහණය ලෙසයි. එහිදී ද ඉරෙන් 92%ක් ආවරණය වනු දැකගත හැකි වුවත්, එය කිසිසේත්ම පූර්ණ සූර්යග්‍රහණය දැකීමේ අත්දැකීමට සම කළ නොහැකියි.

සූර්යග්‍රහණය සිදු වන්නේ අමාවක පෝය දින වලයි. අමාවක පෝයෙන් ලංකාවේ චන්ද්‍ර මාස අවසන් වෙනවා. සඳුගේ ගමන මත පදනම් වූ ඉන්දීය කලාපයේ විවිධ දින දර්ශන පූර්ණිමාන්ත දින දර්ශන හා අමාන්ත දින දර්ශන සේ වර්ග කෙරෙනවා. පූර්ණිමාන්ත ක්‍රමයේදී මාස මාරු වෙන්නේ පසළොස්වක පෝය දිනයෙන්. අමාන්ත ක්‍රමයේදී අමාවක පෝය දිනයෙන්. ලංකාවේ භාවිතා වෙන්නේ අමාන්ත ක්‍රමයයි.

ඇමරිකාවේ කොටසකට පූර්ණ සූර්යග්‍රහණය දර්ශනය වූ මැදින් අමාවක දිනයෙන් පසු ලංකාවේ භාවිතා කරන චන්ද්‍ර-සූර්ය දින දර්ශනය අනුව බක් මාසය උදා වුනා. එම දින දර්ශනය චන්ද්‍ර දින දර්ශනයක් නොවී චන්ද්‍ර-සූර්ය දින දර්ශනයක් වන්නේ මාස පදනම් වන්නේ චන්ද්‍රයාගේ ගමන මත වුවත්, අවුරුද්ද පදනම් වන්නේ සූර්යයාගේ ගමන මත නිසයි.

මෙයින් වෙනස්ව ඉස්ලාම් දින දර්ශනය තනිකරම චන්ද්‍ර දින දර්ශනයක්. ඒ නිසා, එහි වසරක කාලය සූර්ය දින දර්ශනයක වසරක කාලයට වඩා දින 11කින් පමණ කෙටියි. සිංහල චන්ද්‍ර-සූර්ය දින දර්ශන ක්‍රමයේදී වසර තුනකට පමණ වරක් අධික මාසයක් එකතු කිරීම මගින් මෙම වෙනස ගලපනවා. එය කරන්නේ මේෂ සංක්‍රාන්තිය බක් මාසය තුළ සිදු වන ලෙසයි. ඒ අනුව, බක් අමාවක දිනය සිංහල අවුරුද්දෙන් පසුව එළැඹෙන පළමු අමාවක දිනයයි.

මෙවර, ඉස්ලාම් දින දර්ශනය අනුව ශව්වාල් මාසයේ පළමු දිනට යෙදෙන, ඉස්ලාම් ආගමිකයින්ගේ ඊද් උත්සව දිනයද සිංහල අවුරුදු දිනය කිට්ටුවටම ඇවිත් තිබෙනවා. දින දර්ශන වල වෙනස නිසා එසේ සිදු වන්නේ වසර 33කට පසුවයි.

පූර්ණ සූර්යග්‍රහණයක් කියන්නේ ඉර හා හඳ එකවර එකතැන තිබෙනු දැකිය හැකි දුලබ අවස්ථාවක්. අර්ධ සූර්යග්‍රහණයකදී ඉරෙන් 99%ක් පමණම වැසී ගියද, පූර්ණ සූර්යග්‍රහණයකදී මෙන් එය පියවි ඇසින් බැලිය නොහැකියි. විශේෂ කණ්නාඩියක් පැළඳ මේ නිරීක්ෂණය කළ හැකි වුවත්, එය පියවි අතින් පූර්ණ සූර්යග්‍රහණය දකින තරම් අපූරු අත්දැකීමක් නෙමෙයි.

ඇමරිකාවේ සිට පූර්ණ සූර්යග්‍රහණය පියවි ඇසින් නරඹද්දී, මගේ මනසේ චිත්‍රණය වන්නේ බක් අමාවක පෝය දිනයක් වූ ක්‍රිස්තු පූර්ව 480 අප්‍රේල් 19 දින උදේ 8:40:27 සිට 8:44:13 දක්වා මිනිත්තු 3කුත් තත්පර 46ක කාලයක් තුළ ලංකාවේ නාගදීපයට දර්ශනය වූ පූර්ණ සූර්යග්‍රහණය හා එවැනි අවස්ථාවක සිදු විය හැකිව තිබුණු සිදුවීම්යි මාලාවයි.

බක් මාසය ශ්‍රී ලාංකිකයින්ගේ උත්සව මාසයයි. මම හිතන්නේ කාලයකට පසුව මේ උත්සව මාසය ශ්‍රී ලාංකිකයින් විසින් සතුටෙන් සමරන බවයි. පාස්කු ප්‍රහාරය, වසංගතය හා ආර්ථික අර්බුදය නිසා වසර ගණනාවක්ම මේ උත්සව සමය ගෙවුනේ ලොකුවට සතුටු විය හැකි විදිහට නෙමෙයි.

සිංහල අලුත් අවුරුද්ද ඇතුළු විවිධ සූර්ය මංගල්‍යයන් සමරන සියලු දෙනාටත්, ඊද් උත්සවය සැමරූ ඉස්ලාම් භක්තිකයින්ටත්, මේ කිසිවක් සමරන්නේ නැති අයටත් සුබ උත්සව සමයක්!

#ඉකොනොමැට්ටා

Social Sharing
නවතම පුවත්