ඊයේ (25) නත්තල් දවසේ කාලගුණ වෙනසත් සමඟ ඇති වුණ අධික වැස්ස නිසා මහනුවර – අකුරණ – දුනුවිල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටී එක ම පවුලේ දෙදෙනෙක් (2) ජීවිතක්ෂයට පත්වුණා. මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන විදිහට අධික වර්ෂාවත් නිසා නිවස අසල තිබුණ කන්ද නායයෑමෙන් තමයි මේ අනතුර සිද්ධ වෙලා තිබෙන්නේ. මේ අනතුරෙන් 18 සහ 19 වයස්වල පසුවන දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වෙලා තිබෙනවා. මේ අනතුර වෙනකොට ගෙදර පස් දෙනෙක් ඉඳලා තියෙනවා. මව පියා සහ අනෙකුත් සහෝදරයා මේ අනතුරෙන් දිවි ගලවාගත්තත් ඔවුන්ද බරපතළ තුවාලවලට ලක්වෙලා.
වැස්සට පස්කඳුවලට මිනිස්සු යටවෙලා ජීවිතක්ෂයට පත්වීම ලංකාවට අරුම දෙයක් නෙවෙයි ඒක සාමාන්‍ය දෙයක්. එයින් පේන්නේ රාජ්‍ය මිනිස්සුන්ට සලකන විදිහ. කඳු කඩාගෙන වැටෙන එක නතර කරන්න බැහැයි කියමු. ඒත් නාය යන කඳු හඳුනාගෙන මිනිස්සුන්ට ආරක්ෂිත ස්ථානයක් ලබාදීම රාජ්‍යයට කරන්න පුලුවන් දෙයක්.
මේ අතර පවතින අධික වැස්ස සමග අකුරණ නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇත.

මහනුවර දුම්රිය ස්ථානය ජලයෙන් යට වෙයි
ඊයේ 25 දා වැස්සත් එක්ක ආව ඊළඟ ආරංචිය තමයි නුවර කෝච්චි ස්ටේෂම වතුරෙන් යටවෙලා කියන එක. මේක සෑහෙන්න කාලෙකින් අහපු කතාවක්. ඒකෙන් පේනවා වැසි තත්ත්වය කොච්චර බරපතළද කියලා. කොහොම වුණත් මේ යටවීම නිසා දුම් රිය ධාවනයට බාධා සිද්ධවෙලා තිබෙනවා. මේ වැසි ජලයෙන් යටවීමට අමතරව පිළිමතලාව සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර පිහිටි නානුඔය දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ පස් කන්දක් කඩාවැටිලා. මේ නිසා කොළඹ ඉඳලා මහනුවරට යන දුම්රිය පිළිමතලාවෙන් එහාට ඊයේ ධාවනය කරන්න නොහැකි වෙලා.

දැදුරුඔය දරුණු වෙලා වාන් දොරටු 6 ක් ඇරලා
අනපේක්ෂිතව ලංකාව හරහා හමායමින් තිබෙන මේ සුළිකුණාටුව නිසා ඇතිවෙලා තියෙන අධික වැසි තත්ත්වය නිසා දැදුරුඔයේ වාන් දොරටු හයක් (6) විවෘත කරලා කියලා වාර්තා වෙනවා. මේ නිසා මේ ගැන අවධානයෙන් ඉන්න කියලා පුත්තලම සහ හලාවත ජනතාවගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.
ඒ වගේම මේ වැසි තත්ත්වය එක්ක රාජාංගණය ජලාශයේද වාන් දොරටු දෙකක් (2) විවෘත කරලා. යාන් ඔයත් වාන් දමමින් තිබෙනවා කියලා තමයි වාරිමාර්ගේ ප්‍රකාශ කරන්නේ.
වීඩියෝ බලන්න : https://www.youtube.com/watch?v=RV6qB32uP-E